• කලාපීය ව්‍යාප්තියට තවදුරටත් ආයෝජනය කරන බවත් පවසයි 

2025/26 මූල්‍ය වර්ෂයේ අවසන් කාර්තුවට සාපේක්ෂව 2026/27 පළමු කාර්තුවේදී සිය මෙහෙයුම් ලාබය සියයට 15 කින් අඩුවී ඇතැයි PickMe  අයත් ඩිජිටල් මොබිලිටි සොලියුෂන්ස් ලංකා පීඑල්සී සමාගම පවසයි. 

විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදය නිසා ඉහළ ගිය ඉන්ධන මිල හේතුවෙන් ඇති වූ පාරිභෝගික ගමන් වාර සංඛ්‍යාවේ අඩුවීම, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදු වූ අවප්‍රමාණයවීමෙන් ඉහළ ගිය තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් සහ දායකත්ව පිරිවැය මීට හේතුව වී ඇතැයි සමාගම සඳහන් කරයි. 2026 ජුනි 30 වැනිදායින් අවසන් වූ 2026/27 පළමු කාර්තුව සඳහා අතරමැදි මූල්‍ය වාර්තාව ඉදිරිපත් කරමින් එම සමාගම මෙම කරුණු සඳහන් කර සිටියි.

මෙම කාර්තුව සඳහා සමාගමේ මෙහෙයුම් ලාබය රුපියල් මිලියන 833 ක් ලෙස සටහන් වන අතර, එය 2025/26 පළමු කාර්තුවේ වාර්තා කළ රුපියල් මිලියන 602 ට සාපේක්ෂව සියයට 38 ක වර්ධනයකි. 

මේ අතර සමාගම සිය දිගුකාලීන වර්ධනය වෙනුවෙන් තවදුරටත් කලාපීය ව්‍යාප්තිය සඳහා ආයෝජනය කරන බවත් පවසයි. 

“දිගුකාලීන වර්ධන ගමන් මගට සහාය වීමට බලශක්ති සැපයුම් විශ්වසනීයත්වය සහ කලාපීය ව්‍යාප්තිය වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරන අතරම, කෙටි කාලීන මෙහෙයුම් අභියෝග ජය ගැනීමටද අවධානය යොමු කරනවා.’’

PickMe 2024 වසරේ සිට ආසියානු කලාපයට අයත් නේපාලයේ සිය මෙහෙයුම් සිදු කරයි.

මෙම වාර්තාවට අනුව 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 631ක් වී ඇති අතර, එය 2025/26 මූල්‍ය වර්ෂයේ අදාළ කාලසීමාවේ වාර්තා වූ රුපියල් මිලියන 437ක ලාබයට සාපේක්ෂව සියයට 45ක වර්ධනයකි.