• අවුරුදු 60ට වැඩි සියයට 18ක ජනගහනය 2041 දී සියයට 25ක් වේවි 
  • ඔවුන් සමාජයට බරක් ලෙස නොව ආර්ථික වත්කමක් ලෙස සැලකිය යුතුයි 
  • වයස්ගත වන ජනගහනය සතුව ඉතුරුම් සහ ආයෝජන පැවතීම එක් පිළිතුරක් 
  • අවුරුදු 55-64 ත් අතර පිරිසගෙන් සියයට 49ක්ම ආර්ථිකව අක්‍රියයි 
  • ඔවුන්ට ගැළපෙන නම්‍යශීලී රැකියා අවස්ථා නිර්මාණය කිරීම මූලික අවශ්‍යතාවක් 
  • 2030 දී ලංකාවේ ආර්ථික මහලු‍ වියේ යැපුම් අනුපාතය සියයට 29.2 ක් වේවිලු‍ 

භානුක අමරසිංහ 


ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බවත්, එම වයස්ගත ජනගහනයෙන් නිර්මාණය වන රිදී ආර්ථිකයකට රට තුළ පවතින සූදානම තවමත් ප්‍රමාණවත් නොවන බවත් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) සඳහන් කරයි. 

එහි පර්‌යේෂිකාවක වන ආචාර්ය බිලේෂා වීරරත්න විසින් සකස් කරන ලද ලිපියක මෙම කරුණු ඇතුළත්ව තිබේ. පසුගියදාට යෙදුණු ලෝක ජනගහන දිනය වෙනුවෙන් ඇය මෙම ලිපිය සකස් කර තිබුණි. 

ඒ අනුව ක්‍රමයෙන් ඉහළ යන වයස්ගත ජනගහනය ආර්ථිකයට සහ සමාජයට බරක් නොවී ඔවුන්ද ආර්ථිකය වෙත සම්බන්ධ කරගත හැකි මෙම රිදී ආර්ථිකය වෙත අවශ්‍ය පහසුකම් සලසා දීමට බලධාරීන් ඇතුළු සියලු‍ දෙනා පියවර ගත යුතුව තිබෙන බව ඇය මෙහිදී අවධාරණය කර සිටියි. 

“වර්තමානයේදී ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි ජනගහනය සමස්තයෙන් සියයට 18 කට වැඩියි. දැනට පුරෝකථනය කර තිබෙන විදියට 2041 වන විට සෑම හතර දෙනකුගෙන් එක් අයකුම, ඒ කියන්නේ ජනගහනයෙන් සියයට 25ක් වයස අවුරුදු 60ට වැඩි වේවි. මෙම තත්වය වෙත ඉතාමත් හොඳින් මුහුණ දුන්නොත් මේ වයස්ගත ජනගහනය හා සම්බන්ධ රිදී ආර්ථිකය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලබා දෙන දායකත්වය විශාල වේවි.”

කෙසේ වෙතත් මෙම වයස්ගත ජනගහනය ආර්ථිකය වෙත දායක වීමේදී මුහුණ දෙන මූලික අභියෝග රැසක් පවතින බව පෙන්වා දෙන ඇය, එහිදී මූලිකවම එම පිරිසට සිය වයසේදී පවා යෙදිය හැකි රැකියා අවස්ථා නිර්මාණය කර දීම වැදගත් බව පවසයි.

“ඔවුන් සමාජයට බරක් විදියට නෙමෙයි, ආර්ථික වත්කමක් ලෙස සැලකිය යුතුයි.” 

මෙම රිදී ආර්ථිකයක් යනු වයස අවුරුදු 50ට වැඩි ජනගහනයක් ඇතුළු වයස්ගත පිරිසගේ පොදු සහ පාරිභෝගික වියදම් හා සම්බන්ධ අවස්ථාවලින් ගොඩනැගෙන ආර්ථිකයකි. සරලවම කිවහොත් වයස්ගත පිරිස් ඉලක්ක කර ගනිමින් සිදු කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදන, බෙදාහැරීම් සහ පාරිභෝජනය ඊට ඇතුළත් වෙයි. 

“එහෙත් මෙම රිදී ආර්ථික තත්වය ළඟා කර ගැනීමට නම් වයස්ගත ජනගහනය සතුව ඉතුරුම් සහ ආයෝජන පැවතිය යුතුයි. ලංකාවේ තත්වය වෙනස්. ආසන්න වසර කිහිපයේදී වයස අවුරුදු 55-64 ත් අතර පිරිසගෙන් සියයට 49ක්ම ආර්ථිකව අක්‍රියයි. ශ්‍රම බලකාය වෙත සහභාගීත්වය පිරිමින්ගෙන් සියයට 36ක් සහ කාන්තාවන්ගෙන් සියයට 11යි.

මෙතැනදී සාමාන්‍ය විශ්‍රාම වයස අවුරුදු 60 වීම විධිමත් රැකියා අවස්ථා වෙත යොමුවීම සීමා කරනවා. ඒ නිසා බහුතර වැඩිහිටි ජනගහනය යෙදෙන්නේ අවිධිමත් රැකියාවල.” ආචාර්ය බිලේෂා පවසයි. 

මේ අතර වයස්ගත ජනගහනය වෙත හිමිවන අර්ධ කාලීන රැකියා අවස්ථාද ඉතාමත් සීමිත බවත්, ඒ අනුව දැනට රට තුළ පවතින ආයු අපේක්ෂාවේ සාමාන්‍ය වයස වන අවුරුදු 75.5න් අවුරුදු 15කම කාලය ඉතාමත් සීමිත ආදායම් සහ රැකියා අවස්ථා සමගින් ගත කිරීමට ඔවුන්ට සිදුව තිබෙන බවත් ඇය පෙන්වා දෙයි. 

මෙහි සඳහන් ආකාරයට ආසන්න කාලයේදී විශ්‍රාම වයසට වඩා වැඩි අයගෙන් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන්නේ සියයට 31 ක් පමණකි. එසේම විශ්‍රාමිකයන්ගෙන් හතරෙන් තුනකට වඩා ශුද්ධ යැපෙන්නෝ වෙති. 

සියයට 91.7 ක් ඉතිරිකිරීම්වලින් කිසිදු ආදායමක් ලබා නොගන්නා අතර, සේවක අර්ථසාධක අරමුදල (EPF) වැනි ඉතුරුම් ඇති අයගෙන් බොහෝ දෙනෙක් එම මුදල් වියදම් කර ඇත්තේ ඉතිරිකිරීම් හෝ පසුකාලීන ජීවිතය සඳහා ආයෝජනය කිරීමකින් තොරවයි.

මේ තත්වයත් සමගින් ඇස්තමේන්තුවලට අනුව 2030 වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික මහලු‍ වියේ යැපුම් අනුපාතය සියයට 29.2 දක්වා ළඟා වනු ඇතැයි ගණන් බලා තිබේ. 

ඒ අනුව කාලානුරූපීව සකස් කළ උපායමාර්ගික ක්‍රියාමාර්ගයක් නොමැතිව මෙම වයස්ගත ජනගහනය ශ්‍රී ලංකාවේ සමාජයට මෙන්ම රජයේ සෞඛ්‍ය සහ අනෙකුත් සමාජ ආරක්ෂණ වියදම් වෙතද බරක් වනු ඇතැයි මෙම ලිපියේ සඳහන් වෙයි. 

“මේ තත්වය මගහැරීම සඳහා ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු මූලික උපායමාර්ගික අංශ දෙකක් තිබෙනවා. ඉන් පළමුවැන්න තමයි මේ ජීවිතයේ සැඳෑ සමයේදී ලබාගත හැකි ආර්ථිකමය අවස්ථා ඇති කිරීම. එතැනදී රැකියා අවස්ථා ඇති කිරීම සඳහා ඉක්මනින් විශ්‍රාම යෑම, නම්‍යශීලී සේවා අවස්ථා මෙන්ම නිවසේ සිට සිදු කරන රැකියා අවස්ථා ප්‍රධානයි. ඒ වගේම වයස්ගත කාලයේදී අවශ්‍ය වියදම් සඳහා ඉතුරුම් සහ ආයෝජන පිළිබඳ දැනුවත් කිරීමත් වැදගත්.”

“දෙවැනි කාරණාව විදියට වැඩිහිටියන් රැක බලා ගැනීම සඳහා පමණක් නොව ආර්ථික අවස්ථා නිර්මාණය සඳහාත් සුරැකුම් විසඳුම් ව්‍යාප්ත කිරීමත් වැදගත්. එතැනදී නොමිලේ සහ ගාස්තුවක් අය කරන වැඩිහිටි සුරැකුම් ස්ථාන මගින් සෑම ආදායම් මාර්ගයකම පිරිස් වෙත සේවා සපයනවා. එසේම පෞද්ගලික අංශයේ එවැනි ව්‍යාපෘති ආයෝජන සඳහා උනන්දු කරවීමට බදු සහන ලබාදීමත් වැදගත්.” ආචාර්ය බිලේෂා වැඩිදුරටත් පෙන්වා දෙයි.