- 2026 පළමු කාර්තුවේදී විදේශ රැකියා සඳහා පිටත්වීම් සියයට 6.5 කින් පහළට
- මාර්තුවේදී රැකියා සඳහා පිටත්ව ඇත්තේ 14,398 ක් පමණයි
- පළමු කාර්තුවේදී පිටත් වූ පිරිසගෙන් සියයට 72.8ක්ම ගොස් ඇත්තේ මැදපෙරදිගට
- වැඩිම ප්‍රේෂණ ලැබීම් ලෙස එක්සත් රාජධානියෙන් ඩොලර් මිලියන 270ක් හිමිවෙලා
භානුක අමරසිංහ
2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ගත වූ පළමු කාර්තුවේදී මෙරටින් විදේශ රැකියා සඳහා පිටත්වීම් සංඛ්‍යාව 62,645ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 පළමු කාර්තුවේදී වාර්තා වූ 66,720 හා සැසඳීමේදී සියයට 6.6 ක අඩුවීමකි.
එම කාර්තුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ ප්‍රේෂණ ඉපැයීම් සහ ශ්‍රම සංක්‍රමණය පිළිබඳ වාර්තාවේ මෙම කරුණු සඳහන්ව තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත අනුව මෙය සකස් කර තිබේ.
ජනවාරි මාසයේදී පිටවීම් 25,314ක්ද, පෙබරවාරියේදී පිටවීම් 22,633ක්ද වාර්තා වන අතර මාර්තුවේදී එය කැපී පෙනෙන ලෙස 14,398ක් දක්වා පහළ වැටී තිබේ. විශේෂයෙන්ම පෙබරවාරි 28 වැනිදා මැදපෙරදිග ඇති වූ යුද ගැටුම් මේ සඳහා හේතුව වී ඇත.
දත්ත වාර්තා අනුව මෙරටින් සිදු වූ සමස්ත පිටවීම් අතරින් විදේශ රැකියා සඳහා සිදු කළ පිටත්වීම්හි ප්‍රතිශතයද පළමු කාර්තුවේදී අඩු වී තිබේ. ඒ අනුව ජනවාරියේදී එය සියයට 18.5ක් ලෙසත්, පෙබරවාරියේදී 20.2ක් ලෙසත් මාර්තුවේදී සියයට 13ක් ලෙසත් අඩු වී තිබේ.
ඒ අනුව 2026 වසරේ ජනවාරි - මාර්තු කාලය තුළ විදෙස් රැකියා සඳහා රටින් පිටවීමේ සාමාන්‍ය 20,782ක් ලෙස සටහන්වන අතර, ආසන්න කාලයේ වාර්තා වූ අඩුම සාමාන්‍ය අගය ලෙසින්ද සැලකෙයි.
මෙලෙස පළමු කාර්තුවේදී පිටත් වූ පිරිස් අතරින් සියයට 72.8ක්ම මැදපෙරදිග වෙත ගොස් තිබේ. එසේම දකුණු ආසියාව සහ මැදපෙරදිග හැර ආසියානු කලාපය වෙත සියයට 10.6 ක්ද, යුරෝපය වෙත සියයට 10.1ක්ද, දකුණු ආසියාව වෙත සියයට 4.6 ක්ද, වෙනත් සියයට 1.1ක් ලෙසද, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වෙත සියයට 0.8ක් ගොස් තිබේ.
“මැදපෙරදිග ඇති වූ යුද්ධය නිසා මාර්තු මාසයේ වාර්තා වූ මෙම පහළ වැටීම දෙවැනි කාර්තුවේ මාස තුනේදීම සටහන්වීමේ අවස්ථාව ඉහළයි. ඒ අනුව අප්‍රේල් මැයි ජූනි මාසවලදී මෙම පිටත්වීම් තවදුරටත් පහළ ගොස් තිබෙන්නට පුළුවන්. එය වසරේ සමස්ත විදේශ රැකියා සඳහා පිටත්වීම් වෙත වගේම ප්‍රේෂණ ලැබීම් වෙතත් බලපාවි.” මේ පිළිබඳව අදහස් දක්වන විශ්ලේෂකයෝ සඳහන් කරති.
මේ අතර 2026 වසරේ ජනවාරි සිට මැයි දක්වා මුල් මාස පහ තුළ විදෙස් රැකියා සඳහා ශ්‍රමිකයන් 100,690 දෙනකු පිටත්ව යනු ඇතැයි මහ බැංකුව මෙහිදී ඇස්තමේන්තු ගත කර තිබේ. 2025 වසරේ මුල් මාස පහේදී එය 119,564 ක් විය.
මහ බැංකු වාර්තාවට අනුව 2025 වසරේ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි කාර්තුවලදී පිළිවෙළින් වාර්තා වූ 76,324ක, 90,252ක සහ 74,619ක විදෙස් රැකියා සඳහා පිටත්වීම් සමගින් වසර තුළ සමස්ත පිටත්වීම් 310,915ක් ලෙස සටහන් වී තිබේ.
මේ අතර පළමු කාර්තුවේදී මෙරටට හිමි වූ විදේශ මුදල් ප්‍රේෂණවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,295ක් ලෙස සඳහන් වෙයි. ඒ අනුව මෙය ඩොලර් මිලියන 765ක මාසික සාමාන්‍ය අගයක් ලෙස සටහන්ව ඇති අතර, එය 2025 පළමු කාර්තුවේ වාර්තා වූ ඩොලර් මිලියන 604.8 ක සාමාන්‍ය ලැබීම් හා සැසඳීමේදී සියයට 26.5ක වර්ධනයකි.
දත්ත පෙන්වා දෙන ආකාරයට පළමු කාර්තුවේදී වැඩිම ප්‍රේෂණ ලැබීම් එක්සත් රාජධානියෙන් හිමිව ඇති අතර, එය ඩොලර් මිලියන 270.2 කි. එසේම එක්සත් අරාබි එමීරයෙන් ඩොලර් මිලියන 222.3ක්ද සහ ක්වේටයෙන් ඩොලර් මිලියන 190.2ක්ද ලැබී තිබේ. ඉතාලියෙන් සහ කටාරයෙන් පිළිවෙළින් ඩොලර් මිලියන 155.0ක් සහ ඩොලර් මිලියන 154.7ක් ලැබී තිබේ.
“එක්සත් ජනපදයෙන් සහ එක්සත් රාජධානියෙන් ලැබුණු මෙම ප්‍රේෂණ මුදල් වෙනත් රටවල්වලින් ප්‍රභවය වී එම රටවල් හරහා ලැබුණු විදේශ මුදල් ගනුදෙනු ලෙස හඳුනාගෙන තිබෙනවා.” මහ බැංකුව පවසයි.
මේ අතර, මැයි මාසය දක්වා මුල් මාස පහ තුළ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 3,910ක් විය. එහිදී මෙම ප්‍රේෂණ මුදල් ලැබීම් ජනවාරියේදී සියයට 31.1කින්ද, පෙබරවාරියේදී සියයට 33කින්ද, මාර්තුවේදී සියයට 17.5 කින්ද, අප්‍රේල් සියයට 18.8 කින්ද, මැයි මාසයේදී සියයට 32 කින්ද ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් මෙලෙස ලැබුණු ප්‍රේෂණ මුදල් තුළ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරටට ලැබුණු වෙනත් විදේශ මුදල් ලැබීම්ද ඇතුළත්ව තිබෙන බවත් මහ බැංකුව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd