
2035 දී රක්ෂණයේ පංගුව තුන් ගුණයක් කිරිමට බදු සහන සහ නියාමන රෙගුලාසි ලිහිල් කිරීම් අවශ්‍ය බව පවසයි
ඒක පුද්ගල ආදායම ඩොලර් 6,000ක් වුවහොත් කර්මාන්තයේ දෙගුණයක වර්ධනයක්
ජීවිත රක්ෂණය ව්‍යාප්ත කළොත් රජය වසරකට සෞඛ්‍ය සහ විශ්‍රාම වැටුප් සඳහා වෙන් කරන මුදල අඩු කළ හැකියි
භානුක අමරසිංහ
වර්තමානයේදී මෙරට ජනගහනයෙන් සියයට 1කටත් වඩා අඩුවෙන් ව්‍යාප්ත වී ඇති රක්ෂණය වසර 2030 දී දෙගුණයක් බවට පත් කරමින් 2035 දී තෙගුණයක් බවට පත් කරගැනීම සඳහා රජයේ සහාය මෙන්ම බදු සහන ඇතුළුව නියාමන රෙගුලාසි ලිහිල් කිරීම් අවශ්‍ය බව රක්ෂණ කර්මාන්තයේ නිරත පිරිස් සඳහන් කරති.
එහිදී කර්මාන්තයේ විනිවිදභාවය වෙනුවෙන් ඉදිරිපත්ව තිබෙන IFRS 17 ගිණුම්කරණ ප්‍රමීතින් හඳුන්වාදීමද වැදගත් බවත්, මෙම ඉලක්කය සඳහා දැනට රට තුළ ක්‍රියාත්මක ජීවිත රක්ෂණ සමාගම් 14 සහ සාමාන්‍ය රක්ෂණ සමාගම් 15 ඇතුළු කර්මාන්තයේ නිරත සමාගම් 29 ම ප්‍රධාන විධායක නිලධාරීන් සහාය දක්වන බවත් එම පිරිස් පවසා සිටිති.
කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර ආයතනයක් වන CT SMITH Securities ආයතනය Navigating Growth and Value in Life Insurance නමින් පසුගියදා සංවිධානය කළ ආයෝජන ඉසව්වකදී මෙම කරුණු අනාවරණය විය.
මෙම අවස්ථාව සඳහා සම්පත්දායකයන් ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ (IASL) හි වත්මන් සභාපතිවරයා වන HNBLife හි විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලසිත විමලරත්න, සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ්, යුනියන් ඇෂුවරන්ස් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක යන මහත්වරු සහභාගිවී සිටියහ.
මෙහිදී අදහස් දක්වා සිටි ලසිත විමලරත්න මහතා, “තවමත් මේ රක්ෂණය ගැන නොදැනුවත්බව මීට හේතුවක්, රක්ෂණය වැනි කාරණාවක් සඳහා යෙදවීමට ඉතිරි වන මුදල තවත් කාරණාවක්. අද වෙන කොට ලංකාවේ ඒක පුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් 5,000 ට ආසන්නයි. ඒත් තවමත් ජනතාව රක්ෂණ ගැන කතා කරන්නේ නෑ. බොහෝ දෙනෙකු කියනවා ඒක පුද්ගල ආදායම ඩොලර් 6,000ක් ඉක්මවුවහොත් මේ කර්මාන්තයේ තත්වය දෙගුණයක් වේවි කියලා. අපි නැගෙනහිර ආසියානු වෙළෙඳ පොළේ මෙය දැක්කා.”
විශේෂයෙන්ම කලාපය හා සැසඳීමේදී පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇතැම් විට නේපාලය පමණක් ශ්‍රී ලංකාවට පසුපසින් සිටින බවත්, ඉන්දියාවේ එය ජනගහනයෙන් සියයට තුනක් බවත් විමලරත්න මහතා මෙහිදී සඳහන් කළේය.
“අපිට මේ වර්ධනය සදහා රජයේ සහාය අවශ්‍යයි. අපිට යම් බදු සහන අවශ්‍යයි. ඇතැම් රෙගුලාසිවල වෙනස් කම් සිදු විය යුතුයි. ඒ වගේම අනෙත් රටවල මේ ප්‍රතිශතය වර්ධනය කරගෙන ඇති ආකාරය පිළිබඳව තේරුම්ගත යුතුයි.”
මෙහිදී අදහස් දැක් වූ සෙනත් ජයතිලක මහතා, අද වනවිට රජය වසරකට මහජන සෞඛ්‍යසේවා සහ විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් ට්‍රිලියනයකට ආසන්න මුදලක් වියදම් කරන බවත්, ජනගහනයෙන් වැඩි පිරිසකට රක්ෂණය වෙත යොමුවීමට උනන්දු කරන්නේ නම් එම මුදලින් වැඩි ප්‍රමාණයක් දරා ගැනීමට ජීවිත රක්ෂණ කර්මාන්තයට හැකියාව ලැබෙන බවත් පෙන්වා දුන්නේය.
“අද බොහෝ දෙනා වයස අවුරුදු 18 දී ශ්‍රම බලකායට ඇතුළු වෙනවා. ඔවුන් අවුරුදු 60 දක්වා වැඩ කරනවා. ඒ කියන්නේ අවුරුදු 40 සිට 45 දක්වා වැඩ කරනවා. ඒ වගේම අවුරුදු 85ක් හෝ 90ක් දක්වා ජීවත් වෙනවා. ඒ නිසා විශ්‍රාම යන වයස සේවා කාලයෙන් සියයට 60ක් පමණ වෙනවා. ඒ සේවා කාලය තුළ, තවත් අවුරුදු 25ක් සඳහා මූලික අවශ්‍යතා පමණක් නොව ඔබේ වෙනස් වන අවශ්‍යතා ගැන සැලකිලිමත් විය හැකි විශ්‍රාම යෝජනාවක් ඉදිරිපත් කළ යුතු වෙනවා.”
සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා අදහස් දක්වමින්, අද වන විට තාක්ෂණය සහ මාධ්‍ය මගින් මෙම රක්ෂණයේ ඇති වැදගත්කම පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් කළද තවමත් ජනතාව වාහනයක් රක්ෂණය වැනි අනිවාර්යය රක්ෂණය කිරීමකට විනා ජීවිත රක්ෂණයක් වෙත යොමු වීමේ ප්‍රවණතාවක් නොමැති බව පෙන්වා දුන්නේය.
“අනෙක් කාරණාව තමයි උද්ධමනය. අවසානාවකට වගේ පසුගිය වසර 10ක කාලයේදී අපේ ආර්ථිකය කැපීපෙනෙන උද්ධමනයක් අත්වින්දා. එහි සාමාන්‍ය සියයට 10ක් පමණ වුණා. ඒත් සාමාන්‍ය රක්ෂණයකින් ඔබට ලැබෙන්නේ සියයට 8ක ප්‍රතිලාභයක් නම් ඒ ආයෝජනයෙන් ඔබට ලාභයක් නැහැ. ඒ කියන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වය සහ වෙනත් දෙයකට යෙදවිය හැකි ආදායම කියන දේ මෙතැනදී බලපානවා. ජනතාව අතර මුදල් නැත්නම්, ඔවුන් අවසානයටම වදවෙන කාරණාව වෙන්නේ රක්ෂණයයි.“
ඡායාරූපය - ප්‍රදීප් පතිරණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd