හේලීස් සමූහ ව්‍යාපාරයේ  ප්‍රවාහන හා කාර්‌යෝපාය අංශය වන Hayleys Advantis සමාගම, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සමග එක්ව මෙරට යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ‘100 for 100’’ ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහන පසුගියදා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. 

අද වන විට යතුරුපැදි අනතුරු ශ්‍රී ලංකාව තුළ බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති අතර මෙම වැඩසටහන ආරම්භ කර ඇත්තේ එවන් වකවානුවක් තුළ වීම විශේෂත්වයකි. 2024 වසරේ නිල දත්තවලට අනුව, මෙරට සිදු වූ සමස්ත මාර්ග අනතුරුවලින් සියයට 34ක් සඳහාම යතුරුපැදි සම්බන්ධ වී ඇති අතර, සිදු වූ මාරක අනතුරුවලින් ජීවිත අහිමි වූවන්ගෙන් සියයට 31ක්ම යතුරුපැදි ධාවකයන්ය. මේ නිසා, පදිකයන්ට පසුව මෙරට මාර්ගවල දෙවැනි විශාලතම අවදානම් කණ්ඩායම බවට යතුරුපැදි ධාවකයන් පත්ව ඇති බව කණගාටුවෙන් සඳහන් කළ යුතුය. 

ප්‍රමුඛ පෙළේ ප්‍රවාහන හා කාර්‌යෝපාය සමාගමක් ලෙස, තමන් සමග එක්ව සිටින ජනතාව සහ සමස්ත ප්‍රජාව වෙනුවෙන් වඩාත් සුරක්ෂිත මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීමට දායක වීමේ වගකීම මනාව වටහා ගෙන ඇති Hayleys Advantis සමාගම  ශ්‍රී ලංකාව පුරා සිටින යතුරුපැදි ධාවකයන්ට නිවැරදි මාර්ග ආරක්ෂණ අධ්‍යාපනය සහ ප්‍රායෝගික පුහුණුව  ලබා දීම සඳහා මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇත. ප්‍රායෝගික වැඩපිළිවෙළක්  ලෙස ‘100 for  100’ ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවීමෙන් සිය අරමුණු සාක්ෂාත් කර ගැනීමට Hayleys Advantis  බලාපොරොත්තු වේ. 

මීට සම්බන්ධ වන සෑම ආයතනයක්ම තමන්ගේ සේවකයන්, ක්ෂේත්‍ර මෙහෙයුම් යතුරුපැදි ධාවකයන්, භාණ්ඩ බෙදාහැරීමේ නිලධාරීන් හෝ දෛනිකව යතුරුපැදියෙන් ගමන් බිමන් යන පිරිස් අතරින් යතුරුපැදි ධාවකයන් 100 දෙනකු බැගින් තෝරා ගනිමින් ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ආරක්ෂිත ධාවනය පිළිබඳ දැනුම සහ නිවැරදි මාර්ග ආරක්ෂණ මාර්ගෝපදේශ ලබා දීමට කටයුතු කරනු ඇත. 

සෙසු ආයතනවලට කදිම ආදර්ශයක් සපයමින් Hayleys Advantis  මෙම ජාතික වැඩසටහන ප්‍රථමයෙන්ම සිය අනුබද්ධිත ආයතනය වන Citypak  සමාගම හරහා ප්‍රායෝගිකව ක්‍රියාවට නංවා ඇත. ශ්‍රී ලංකාවේ දේශීය පාර්සල් සහ ලේඛන බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ වසර 30කට අධික අත්දැකීම් ඇති Citypak  සමාගම දිවයින පුරා ශාඛා 45කට වැඩි ගණනක් පවත්වාගෙන යමින් වසරකට පාර්සල් මිලියන දෙකකට වඩා පාරිභෝගිකයන් වෙත ආරක්ෂිතව බෙදාහරිනු ලබයි. ඒ අනුව, Hayleys Advantis සිය සන්නාම මෙහෙයුම් තුළ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ලබාදෙන මෙම පුහුණුව ආරම්භ කිරීමට Citypak සමාගම සතු දැවැන්ත ජාලය සුවිසල් ශක්තියක් සපයනු ලැබීය.  

මෙම ජාතික වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් Hayleys Advantis  සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න මහතා මෙසේ පැවසීය. 

“යතුරුපැදි ධාවකයන් යනු රට පුරා විසිරී සිටින මාර්ග පරිශීලනය කරන විශාල කණ්ඩායමක්. එහෙත් අනෙකුත් වාහන කාණ්ඩ මෙන් නොව, ඔවුන් වෙත අඛණ්ඩව මාර්ග ආරක්ෂණ අධ්‍යාපනය සහ පුහුණුව ලබා දීම සඳහා එකම මධ්‍යගත ජාලයක් මෙරට තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ. එම නිසා, සේවා ස්ථාන ප්‍රායෝගික මෙවලම් ලෙස භාවිත කරමින් ඔවුන්ගේම ජාල හරහා මෙම පණිවිඩය යතුරුපැදි ධාවකයන් වෙත රැගෙන යාමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සමග ඒකාබද්ධව අපි ‘100 for 100’’ වැඩසටහන නිර්මාණය කළා. මේ හරහා විවිධ ආයතනවලට තම සේවකයන්ගේ මාර්ග ආරක්ෂාව වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දීමට අවස්ථාව සැලසෙනවා. දිවයින පුරා සිටින අනෙකුත් ව්‍යාපාරික ආයතන සහ සංවිධානද මෙම අභියෝගය භාරගෙන, ශ්‍රී ලංකාව පුරා වඩාත් සුරක්ෂිත මාර්ග සංස්කෘතියක් බිහි කිරීමේ මෙම ජාතික ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.” 

මෙහිදී අදහස් දැක්වූ ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා මෙසේ සඳහන් කර සිටියේය. 

‘100 for  100’’ වැඩසටහන රටේ මාර්ග ආරක්ෂාව වෙනුවෙන් පෞද්ගලික අංශයට ප්‍රායෝගිකව දායක විය හැකි ආකාරය පෙන්වන කදිම උදාහරණයක් ලෙස සඳහන් කළ හැකියි. Hayleys Advantis සමාගම මේ සඳහා දැක්වූ සහයෝගය අපි ඉතා අගය කරනවා.”