මහජන බැංකුව, Satynmag Women Friendly Workplace Awards 2026 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත් හිතකරම සේවා ස්ථානයක් ලෙස නැවත වරක් ඇගයීමට ලක්වේ. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹ, ග්‍රැන්ඩ් මේට්ලන්ඩ් හිදි පැවැත්විණි.

මෙම සම්මානය මහජන බැංකුවට හිමිවූයේ අඛණ්ඩව සයවන වරට වන අතර, මේ තුළින් ශ්‍රී ලංකාව තුළ ධනාත්මක වෙනසක් ඇති කරමින්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහිත ආයතනික සංස්කෘතියක් පෝෂණය කිරීම වෙනුවෙන් සිය ස්ථිරසාර කැපවීම නැවතත් තහවුරුවී ඇත.

එමෙන්ම නායකත්ව සංවර්ධනය, උපදේශන අවස්ථා සහ ආරක්ෂිත පරිසරය මෙන්ම එකිනෙකා කෙරෙහි සහයෝගය දක්වන සේවා වටපිටාවක් සහතික කිරීම සඳහා වන බැංකුවේ භාවිතයන් හා ප්‍රතිපත්ති මෙම සම්මානය මඟින් නැවතත් පිළිබිඹු වේ. 

මහජන බැංකුවේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් සියයට 60ක් කාන්තාවන්ගෙන් සමන්විත වන අතර, බැංකුකරණයට අදාළ විවිධ ක්ෂේත්‍රවල ඉදිරියට යාම සඳහා මහජන බැංකුව ඔවුන්ව නිරන්තරයෙන් සවිබල ගන්වයි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි - මූල්‍ය/ ක්‍රමෝපාය සැලසුම්, කාර්යසාධන කළමනාකරණ හා පර්‌යේෂණ (වැඩබලන) නිල්මිණි ප්‍රේමලාල්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත්) මංජුල දිසානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ශාඛා කළමනාකරණ) අරුණි ලියණගුනවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ආයතනික බැංකුකරණ) සධානා පෙරේරා, සහකාර සාමාන්‍යාධිකාරිනි (මානව සම්පත්) අමල්කා රණසිංහ සහ ප්‍රධාන කළමනාකාරිණී (මානව සම්පත්) ඩී. ඩී. කේ. හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු එක්වූහ.