රට පුරා පිහිටි ලංකා IOC අලෙවිසල් 273ක් අතරින් අලෙවිසල් 75ක ඉදිරි මාස හයක කාලය තුළදී විදුලි මෝටර් රථ ආරෝපණ ස්ථාන ස්ථාපිත කරන බව එම සමාගම පවසයි. ලංකා IOC සමාගම සහ LOLC සමූහයෙහි පරිපාලිත සමාගමක් වන ඉෂාර ට්‍රේඩර්ස් සමගින් ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම යටතේ මෙම කටයුතු සිදුවන බව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කේ. රාඝු මහතා සඳහන් කරයි.
2025/26 මූල්‍ය වර්ෂය සඳහා ලංකා IOC සමාගම නිකුත් කළ වාර්ෂික වාර්තාව තුළ අදහස් දැක්වීමක් සිදු කරමින් ඒ මහතා මේ බව අනාවරණය කර තිබේ.

“ඉදිරි වසර දෙකක කාලය තුළදී අපගේ සිල්ලර අලෙවි ජාලය වෙත විදුලි වාහන ආරෝපණ පහසුකම් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ රට පුරා පිහිටි සමාගමට අයත් සහ වරලත් අලෙවි නියෝජිත අලෙවිසල් 273 වෙත එම විදුලි වාහන ආරෝපණ ස්ථාපිත කිරීම අරමුණයි. දැනටමත් මේ සඳහා වන ශක්‍යතා අධ්‍යයනය සිදු කරමින් යනවා. කෙසේ නමුත් ඉදිරි මාස හයක කාලය තුළ අලෙවිසල් 75ක් සඳහා මේ විදුලි මෝටර් රථ ආරෝපණ ස්ථාපිත කිරීම අපගේ අරමුණයි.”
එසේම ඉදිරි මාස එකහමාරක කාලය තුළදී තවත් අලෙවිසල් 175ක් වෙත මෙම පහසුකම හඳුන්වා දෙන බවත් ලංකා IOC වැඩිදුරටත් සඳහන් කරයි.