ණය සහ අත්තිකාරකම් ඉහළ යෑම හේතුවයි
ලබා දුන් ණය අතරින් වාහන ණය සියයට 63.5 යි. රන් ණය සියයට 21.2 යි
සමාගම් සතු අක්‍රිය ණය රු.බි. 111.8 ක් දක්වා සියයට 21.2 කින් පහළට
භානුක අමරසිංහ
2026 වසරේ පළමු කාර්තුවේදී මෙරට බැංකු නොවන මූල්‍ය සමාගම් සතු වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 3,055.3 ක් (ට්‍රිලියන 3.0ක්) ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රුපියල් බිලියන 2,089.3 ක (රුපියල් ට්‍රිලියන 2.0ක) වත්කම් හා සැසඳීමේදී සියයට 46.2 ක වර්ධනයකි.
මෙහිදී මූලිකවම එම මූල්‍ය සමාගම් මගින් සිදුකළ ණය සහ අත්තිකාරම් ලබාදීම් එම කාර්තුව තුළ කැපී පෙනෙන ලෙස ඉහළ යෑම ඊට හේතුව බව 2026 පළමු කාර්තුව සඳහා වන මූල්‍ය සාධනීය දර්ශකය ඉදිරිපත් කරමින් මහ බැංකුව පවසයි.
ඒ අනුව පළමු කාර්තුව තුළ ශුද්ධ ණය සහ අත්තිකාරම් ලබාදීම් රුපියල් බිලියන 2,450.3 ක් ලෙස සටහන් වන අතර, එය 2025 පළමු කාර්තුවේ වාර්තා කළ රුපියල් බිලියන 1,566.7 ට සාපේක්ෂව සියයට 56.4 ක වර්ධනයකි.
එසේම 2026 පළමු කාර්තුවේදී බැංකු සිදුකළ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 412.6 ක් වන අතර, එය පෙර වසරේ සිදුකළ රුපියල් 363.4 හා සාපේක්ෂව සියයට 13.6 ක ඉහළ යෑමකි.
මේ අතර 2025 පළමු කාර්තුවට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේ මූල්‍ය සමාගම් සතු වත්කම් ගුණාත්මකභාවය යටතේ අක්‍රිය ණය හෙවත් දළ අදියර 3 ණය ප්‍රමාණය රුපියල් බිලියන 141.8 ක සිට රුපියල් බිලියන 111.8ක් දක්වා සියයට 21.2 කින් පහළ වැටී තිබේ.
මෙහිදී අදාළ අක්‍රිය ණය සඳහා මූල්‍ය සමාගම් මගින් වෙන් කර ඇති ප්‍රතිපාදන මුදලද රුපියල් බිලියන 67.2 ක සිට රුපියල් බිලියන 50.5 ක් දක්වා සියයට 25 කින් පහළ වැටී තිබේ.
ඒ අනුව ශුද්ධ අක්‍රිය ණයවල වටිනාකම 2025 පළමු කාර්තුවේ පැවැති රුපියල් බිලියන 74.5 ක සිට 2026 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 61.3 ක් දක්වා සියයට 17.8 කින් පහළ වැටී තිබේ.
මේ අතර මූල්‍ය සමාගම් සතු ශුද්ධ අදියර 3 ණය අනුපාතයද සියයට 4.5 ක සිට සියයට 2.4 ක් දක්වා අඩුවීමක් පෙන්නුම් කර තිබේ.
මෙලෙස 2026 වසරේ පළමු කාර්තුවේදී මූල්‍ය සමාගම් මගින් ලබාදුන් ණය යටතේ වැඩිම ප්‍රතිශතයක් එනම් සියයට 63.5 ක්ම ලබාදී ඇත්තේ වාහන කල්බදු ණය සඳහාය. එසේම සියයට 21.2ක් රන් ණය සඳහා ලබා දී තිබේ. කාරක ප්‍රාග්ධන සහ ව්‍යාපාර ණය සියයට 5.6 කි. පෞද්ගලික ණය සියයට 4.6 ක්ද, ස්ථාවර තැන්පතු හෝ මුදල් ඇපයට තබා ලබා ගන්නා ණය සියයට 1.5 ක්ද වෙයි. නිවාස ණය ප්‍රතිශතය සියයට 1.1 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd