මාලදිවයිනේ ප්‍රමුඛ පෙළේ සැලසුම් සහ ඉදිකිරීම් සමාගමක් වන One Realty දකුණු ආසියාවේ දිගුකාලීන ව්‍යාප්ති සැලැස්මේ තවත් වැදගත් පියවරක් තබමින් One Realty Lanka (Private) Limited  නමින් ශ්‍රී ලංකාවේ සිය පළමු කාර්යාලය කඩවතදී විවෘත කර තිබේ.
මෙම නව කාර්යාලය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Yaaseen මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Nipuna Neranja සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී Dipun Krishad යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 30 වැනිදා කඩවතදී නිල වශයෙන් විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන්, ආරාධිත අමුත්තන් සහ ශ්‍රී ලංකා හා මාලදිවයින් කාර්ය මණ්ඩල සාමාජිකයන් රැසක් එක්ව සිටියහ.
වසර 21කට අධික කාලයක් පුරා මාලදිවයිනේ විශ්වාසය දිනාගත් One Realty සමාගම ගෘහ නිර්මාණ ශිල්පය, ඉංජිනේරු සේවා, ඉදිකිරීම්, ව්‍යාපෘති කළමනාකරණය සහ අභ්‍යන්තර නිර්මාණ යන ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම සමග ශ්‍රී ලංකා වෙළෙඳපොළට පිවිසෙයි. සමාගම විසින් නේවාසික, වාණිජ හා ආගන්තුක සත්කාර ව්‍යාපෘති රැසක් සාර්ථකව නිම කර ඇති අතර, සැලසුම් සහ ඉදිකිරීම් සේවා එකම වහලක් යටින් සපයන විශ්වාසනීය ආයතනයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත.
ලංකාවේ නව මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග නිවාස හිමියන්, ව්‍යාපාරිකයන් සහ දේපළ ආයෝජකයන් සඳහා සැලසුම්කරණය, නිර්මාණය, ඉදිකිරීම් සහ ව්‍යාපෘති කළමනාකරණය ඇතුළු සම්පූර්ණ ඉදිකිරීම් විසඳුම් එකම ස්ථානයකින් ලබාදීමට සමාගම අපේක්ෂා කරයි.