• ආර්ථික වශයෙන් අක්‍රිය ජනගහනය මිලියන 8.7ක් දක්වා ඉහළ ගිහින් 
  • එම පිරිසගෙන් මිලියන 6.8 ක් වාසය කරන්නේ ග්‍රාමීය ප්‍රදේශවල 
  • මිලියන 6.3 ක ආර්ථිකව අක්‍රිය ජනගහනය වැඩිම පිරිස කාන්තාවන් 
  • ආර්ථිකව අක්‍රිය වැඩිම ජනගහනය වයස අවුරුදු 40 ට වැඩි වයස් කාණ්ඩයේ 
  • 2026 පළමු කාර්තුවේ මෙරට ආර්ථිකව සක්‍රිය ජනගහනය මිලියන 8.41ක් 

භානුක අමරසිංහ 
2026 වසරේ පළමු කාර්තුව තුළ මෙරට විරැකියා අනුපාතය සියයට 3.7 ක් දක්වා වසරින් වසර යම් සුළු අඩුවීමක් වාර්තා කළද, රට තුළ ආර්ථික වශයෙන් අක්‍රිය ජනගහනය ඉහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ “2026 පළමු කාර්තුව සඳහා වන ශ්‍රම බලකා සමීක්ෂණ වාර්තාව“ තුළ සටහන්ව තිබේ. 
ඒ අනුව 2026 පළමු කාර්තුව වන විට මෙරට ආර්ථික වශයෙන් අක්‍රිය ජනගහනය මිලියන 8.7ක් ලෙස සටහන් වන අතර, එය 2025 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ මිලියන 8.5 හා සැසඳීමේදී 156,404 ක ඉහළ යාමකි. 
කෙසේ වෙතත් මෙරට විරැකියාවෙන් පෙළෙන්නන් සංඛ්‍යාව 2025 වසරේ පළමු කාර්තුවේ පැවැති 322,015 ක සිට 2026 පළමු කාර්තුව වනවිට 311,495ක් දක්වා අඩු වී තිබේ. ඒ අනුව විරැකියා අනුපාතය සියයට 3.8 ක සිට 3.7 ක් දක්වා අඩු වී තිබෙන බව මෙම වාර්තාව පෙන්වා දෙයි. 
මෙහිදී 2026 පළමු කාර්තුව වනවිට ආර්ථිකව අක්‍රිය ජනගහනයෙන් වැඩිම ප්‍රමාණයක් වාසය කරන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය. එය මිලියන 6.8කි. එසේම නාගරිකව එය මිලියන 1.5 ක් වෙයි. වතුකරයේ එය 347,682 කි. 
එසේම කාන්තා සහ පිරිමි අතරින් ආර්ථිකව වැඩිම අක්‍රිය ජනගහනය කාන්තාවන්ය. එය මිලියන 6.3 ක් (සියයට 72.2ක්) වන අතර, පිරිමින් එය මිලියන 2.4 (සියයට 27.8ක්) වෙයි. ඒ අතරින් ග්‍රාමීයව කාන්තාවන් මිලියන 4.9ක් ආර්ථිකව අක්‍රියව සිටින අතර, නාගරිකව මිලියන 1.1 කි. වතුකරයේ එය 246,203 ක් වෙයි. 
වයස් කාණ්ඩ අනුව ගත් විට රට තුළ ආර්ථික වශයෙන් අක්‍රිය වැඩිම ජනගහනයක් වාසය කරන්නේ වයස අවුරුදු 40 ට වැඩි වයස් කාණ්ඩය යටතේ වන අතර, එය මිලියන 5.2 කි. මෙම පිරිසගෙන් මිලියන 1.3 ක් පිරිමින් වන අතර, මිලියන 3.8ක් කාන්තාවන් වෙයි. 
ඊට පසු වැඩිම ආර්ථිකව අක්‍රිය ජනගහනයක් සිටින්නේ අවුරුදු 15-19ත් අතර වයස් කාණ්ඩයේය. එය මිලියන 1.5කි. අඩුම අගය වන 388,647ක් වයස අවුරුදු 25-29ත් අතර පසුවෙයි. 
මේ අතර එම වාර්තාවට අනුව 2026 පළමු කාර්තුව වන විට මෙරට සමස්ත ශ්‍රම බලකා දායකත්වයේ අනුපාතය සියයට 49.2ක් වන අතර, එය 2025 පළමු කාර්තුවේදී වාර්තා කළ සියයට 49.7 ට සාපේක්ෂව සියයට දශම 5 ක අඩුවීමකි. එහිදී 2025 පළමු කාර්තුවේ වාර්තා වූ මිලියන 16.9ක ශ්‍රම බලකා ජනගහනය 2026 පළමු කාර්තුව වනවිට මිලියන 17ක් දක්වා ඉහළ යාම හේතුව වී තිබේ. 

මෙම දත්ත අනුව 2026 පළමු කාර්තුව වන විට මෙරට ආර්ථික වශයෙන් සක්‍රියව සිටින ජනගහනය මිලියන 8.41කි. ඒ අතරින් මිලියන 5.4ක් එනම් සියයට 64.2ක් පිරිමින් වන අතර, මිලියන 3.0ක් සියයට 35.8ක් කාන්තාවන් වෙයි. 
ඉන් වැඩිම ආර්ථිකව සක්‍රිය ජනගහනයක් සිටින්නේ ග්‍රාමීයව වන අතර, එය මිලියන 6.7කි. එසේම නාගරිකව එය මිලියන 1.3ක් වෙයි. වතු ආශ්‍රිතව එය 343,872ක් වෙයි. 
මේ අතර ප්‍රධාන කර්මාන්ත කාණ්ඩ අනුව ගත් විට 2026 පළමු කාර්තුවේ සමස්ත රැකියා නියුක්තිය වන මිලියන 8.1 න්, මිලියන 1.9ක් එනම් සියයට 23.7ක් කෘෂිකර්මාන්ත අංශය තුළත්, මිලියන 2.09 ක් එනම් සියයට 25.9ක් කර්මාන්ත අංශය තුළත්, මිලියන 4.08ක් එනම් සියයට 50.4ක් සේවා අංශය තුළත් සටහන්ව තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.