IMG-LOGO

බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහුණු බීරළු රේන්ද කර්මාන්තය

ඩයනා කුමරියගේ මංගල ඇඳුමට රේන්දය නිර්මාණය කළෙත් ගාල්ලෙන්

බිස්නස් තිබෙන තැන්වල ව්‍යාපාරය කරන්න ඉඩ දෙනවා නම් කර්මාන්තයට ශක්තියක් 

කපු නූල්, ඉදිකටු යනාදියේ මිල ගණන් ඉතාමත් ඉහළ ගොස් තිබීම ගැටලු‍වක්

පැරණි ශිල්පීන් ගැන ජාතික ශිල්ප සභාව වැනි ආයතන වගේවගක් නැතිලු‍

බීරළු රේන්ද පිළිබඳව සංචාරකයන් දැනුවත් කරන වැඩපිළිවෙළක් ඕනෑ


කරාපිටිය – ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා


ශ්‍රී ලංකාවේ ඒ ඒ ප්‍රදේශවලට ආවේණික වූ කර්මාන්ත පවතින අතර මුලින්ම ගාල්ලෙන් බිහිවී ඇති බීරළු රේන්ද කර්මාන්තයටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 

රේන්ද ගොතන්නේ කපු නූල් වලිනි. රේන්ද කලාවේ ආරම්භය ගැන නොයෙක් කතන්දර තිබුණත් විජය කුවේණි කතා පුවත ප්‍රකටය. කෙසේ වෙතත් කුවේණියට කලින් ලංකාවේ දකුණු ප්‍රදේශයේ කපු වැවූ බව සනාථ වන කතාවක් තිබේ. පහතරට නැටුම් කලාවේ එන රිද්දි යාගය හෙවත් රට යැකුම ශාන්ති කර්මාන්තයේ රිද්දි බිසව් හත්දෙනා උස්සන්ගොඩට ගොඩ බැස්සට පසුව හේන් කොටා කපු වවා සළුවක් සකස් කොට එම සළුව දීපංකර බුදුරජුන්ට පූජා කළ බව කියැවේ. ඒ අනුව ලංකාවේ වසර දහස් ගණනකට පෙර පාරම්පරික කලාවක් වශයෙන් මෙම කලාව පැවති බව කියැවෙයි.

තවත් ජනප්‍රවාදයක් ලෙස කියැවෙන්නේ ඒ කාලයේ යක්ෂ ගෝත්‍රිකයන් වැඩි වශයෙන් දකුණු වෙරළට ආසන්නයේ වාසය කළ බවත් කුවේණියගේ ජනාවාසය දකුණු වෙරළබඩ තිබූ බවත් විජය රජු ගොඩ බැස්සේ දකුණු වෙරළට බවත්ය. මෙම කරුණට ගැළපෙන භෞතික සාධක අතර කුවේණිය විසින් වියමින් සිටි රේන්දය සඳහා භාවිත කළ රේන්ද කොට්ටය ශල්‍යමය නිමැවුමක් ලෙස අදටත් ගාල්ල හබරාදුව අහංගම ගොවියාපාන වෙරළබඩ සමීපයේ පවතින බවය. එය ජනයා විසින් හඳුන්වන්නේ යක්ෂණියගේ කොට්ටය ලෙසය.

කෙසේ වෙතත් පෘතුගීසින්ගේ ආගමනයෙන් පසු බීරළු රේන්ද කර්මාන්තය දියුණු වූ බව කියැවේ. පළමුව ගාල්ලෙන් ආරම්භ වූ මෙම කර්මාන්තය පසුව වැලිගම, දොඩන්දුව, කතළුව, දෙවුන්දර හා අම්බලන්ගොඩ දක්වා ව්‍යාප්ත වී තිබේ. බීරළු රේන්ද කර්මාන්තයේ දී පාවිච්චි කරනු ලබන උපකරණ අතර රේන්ද කොට්ටය ප්‍රධානය. මෙම කර්මාන්තයේ නියැලීමට සියුම්ව කටයුතු කිරීමේ හැකියාව පැවතීම අත්‍යාවශ්‍ය වේ. යම් හෙයකින් බීරළුවක් වැරදි සැලැක්කයක් දැමුවහොත් මුළු රටාවම වෙනස් වේ. සාම්ප්‍රදායික බීරළු රේන්ද රටා අතර කන් පෙත්ත, පිච්ච මල, බකිනි මල, නියපොත්ත, කජු පෙත්ත යනාදිය ප්‍රකටය. එහෙත් නිර්මාණශීලී ශිල්පිනියකට මීට අමතරව නව නිර්මාණද බිහි කිරීමේ හැකියාව පැවතිය හැක.

මෙම කර්මාන්තයට සුවිශේෂී දායකත්වයක් දැක්වූ කාන්තාවන් කිහිප දෙනකුම මාගාල්ලේ වාසය කර තිබේ. ඔවුන් අතරින් කර්ලිනාහාමි මහත්මිය හා ඇයගේ දියණිය පී.කේ. බේබිනෝනා මහත්මිය, ඉන් අනතුරුව සෝමාවති සහ රත්නාවති දෙසොහොයුරියෝ ප්‍රධාන වෙති. මාගාල්ලේ ප්‍රථම බීරළු රේන්ද ව්‍යාපාරිකාව වී ඇත්තේ ඩී.පී. ඇලිස්නෝනා මහත්මියයි. ඇයට මෙම කරුණට අදාළව 1992 ශ්‍රී ලංකා තිලක නම්බු නාමයද රජය විසින් පිරිනමා තිබේ.

1981 දී ඩයනා චාල්ස් විවාහ මංගල්‍යයේදී ඩයනා කුමරියගේ වේලය සඳහා යොදා ගත් රේන්දය නිර්මාණය කර ඇත්තේද සෝමාවති මහත්මිය විසිනි.

 

වර්තමානයේ මෙම බීරළු රේන්ද කර්මාන්තයේ මාගාල්ලේ පවුල් 25 - 30 ක පමණ කාන්තාවෝ නියැළී සිටිති. මෙම කර්මාන්තය කරගෙන යාමේදී පවතින ගැටලු‍ ගැන අදහස් දැක්වූ එම්.ටී. මාලනී මාග්‍රට් මහත්මිය මෙසේ පැවසුවාය. 

මම මේ කර්මාන්තය කරන්න පටන් අරන් දැන් වසර 30 කටත් වැඩියි. විදේශයන්හි පැවති ප්‍රදර්ශනවලට පවා ජාතික ශිල්ප සභාවේ අනුග්‍රහය ඇතිව මම සහභාගී වී තිබෙනවා. අපිට දැන් තිබෙන ප්‍රධානම ගැටලු‍ව තමයි වෙළෙඳපොළ. ගාල්ල කොටුව, අගනුවර අපේ නිෂ්පාදනවලට හොඳ වෙළෙඳපොළක් තිබෙනවා. මෙම ස්ථානවල අපේ කර්මාන්තය කරගෙන යාමට යම් අවස්ථාවක් ලබා දෙනවා නම් එය ඉතාමත් වටිනවා. දැන් අපි සති අන්ත දිනවලදි ගාල්ල කොටුවේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අංගණයේ තාවකාලික මඩු අටවාගෙන වෙළෙදාම් කරනවා. සමහරු මේකටත් අකුල් හෙළීමට මාන බලනවා.

අනෙක් කරුණ තමයි මෙම බීරළු රේන්ද කර්මාන්තය කිරීමට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය රේන්ද කොට්ට නිෂ්පාදනය කරන අය දැන් ඉතාමත් හිඟවීම. ඒකත් ගැටලු‍වක්. අපට අවශ්‍ය කපු නූල්, ඉදිකටු යනාදියේ මිල ගණන් ඉතාමත් ඉහළ ගොස් පැවතීම තවත් කරුණක්.

මෙම කර්මාන්තය එක තැන ඉඳගෙන ඉතාමත් ඉවසිලිවන්තව සහ සියුම්ව කිරීම අමාරු කටයුත්තක්. බැවින් නව පරම්පරාව මෙම කර්මාන්තය ගැන වැඩි ඇල්මක් දක්වන්නේ නැහැ. මෙම ගැටලු‍වලට යම් විසඳුමක් ලබාදීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් එය මෙම කර්මාන්තයේ උන්නතියට දැඩි පිටුවහලක් වේවි. අපි සහනාධාර ඉල්ලන්නේ නැහැ. තවත් ගැටලු‍වක් තමයි අපි වගේ පැරණි ශිල්පීන් ගැන ජාතික ශිල්ප සභාව වැනි ආයතන දැන් වැඩි සැලකිල්ලක් නොදැක්වීම. ඔවුන් දැන් සියලු‍ම කටයුතු කරන්නේ අලු‍ත් අය සමඟයි. 

 

බීරළු රේන්ද ව්‍යාපාරික කාන්තාවක් වූ 2017 වර්ෂයේ ජාතික ශිල්ප සභාවෙන් ශිල්ප අභිමානි ජනාධිපති සම්මානයෙන් සහ තවත් සම්මාන කිහිපයකින්ම ජනාදරයට පත් මාගාල්ලේ බිමල්කා චන්දිමා මහත්මිය මෙසේ පැවසුවාය. 

දැන් ලංකාවට එන බෝහෝ විදේශික සංචාරකයන් මෙම පාරම්පරික කර්මාන්තය ගැන එතරම් දැනුවත් වීමක් නැහැ. ඉතාමත් සුළු පිරිසක් තමයි අපෙන් බීරළු රේන්ද නිෂ්පාදන මිලදී ගැනීමට පැමිණෙන්නේ. ඒ නිසා අදාළ ආයතන මගින් මෙම වටිනා පාරම්පරික බීරළු රේන්ද කර්මාන්තය ගැන ජාත්‍යන්තර වශයෙන් වාර්තාමය වැඩසටහන් මගින් ප්‍රචාරයක් ලබාදීම, වෙබ් අඩවි මගින් විදේශීය සංචාරකයන් සහ සංචාරක පිරිස් ලංකාවට ගෙන්වන ආයතනය දැනුවත් කිරීම, සඟරා වැනි වෙනත් ප්‍රචාරක මාධ්‍යවල මෙම කර්මාන්තය ගැන ලිපි පළ කරනවා නම් මෙම කර්මාන්තයේ දියුණුවට ඉතාමත් වැදගත් වන බවයි මාගේ හැඟීම.

මෙම කර්මාන්තයේදී අපි මේ වනවිට රේන්ද යොදා කාන්තා ඇඳුම් නිර්මාණය කරනවා. මේවා ටිකක් මිල ඉහළයි. එහෙත් අපිට දේශීය වශයෙන් පවා මෙම ඇඳුම් සඳහා වෙළෙඳපොළක් නිර්මාණය වී තිබෙනවා. පළමුව බීරළු රේන්ද මගින් ඇඳුම් නිර්මාණය කළේ මම. මට ඇඳුම් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් තිබෙනවා. මාගේ මව තමයි මෙම කර්මාන්තය මුලින් කළේ. පසුව මම මාගේ දැනුම යොදා ගනිමින් ව්‍යාපාරයක් වශයෙන් සිදු කරනවා. අපි රේන්ද යොදා ගනිමින් මේස රෙදි, කොට්ට උර, ඇඳුම් පැළඳුම්, බිත්ති සැරසිලි, ඇඳ ඇතිරිලි යනාදිය නිෂ්පාදනය කර වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා.

අපට ආවේණික වූ බීරළු රේන්ද කර්මාන්තය ගැන අදාළ ආයතන මීට වඩා ඔවුන්ගේ අවධානය යොමුකර එහි උන්නතියට යම් වැඩපිළිවෙළක් යොදනු ලැබුවහොත් මෙම කර්මාන්තය ඉදිරියට ගෙන යාමට එය ඉතාමත් රුකුලක් වේව්. නැන්තම් වර්තමාන පරම්පරාව මෙම කර්මාන්තය කරගෙන යාමට රුචියක් නොදැක්වීම හේතුවෙන් මෙම කර්මාන්තය ඉදිරි ගමන අවදානම් සහගතයි.

 

මාගාල්ලේ බීරළු රේන්ද ශිල්පිනියක් වූ ඩී.ජී. පද්මිණි මහත්මිය මෙසේ පැවසුවාය. 

අපි අපේ නිෂ්පාදන අලෙවි කර ගන්නේ ඒවා අපෙන් මිලට ගන්නා මහත්මියකගේ මාර්ගයෙන්. මීට වඩා මෙම පාරම්පරික කර්මාන්ත ගැන රජයේ අදාළ වගකිව යුතු ආයතන අවධානය යොමු කළ යුතු බවයි මට හැඟෙන්නේ. අපේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට සුදුසු ක්‍රමවත් වැඩපිළිවෙළක් ඇති කළොත් එය අපේ ජීවන තත්වය උසස් කර ගැනීමට උපකාරයක් වෙනවා.

දක්ෂ බීරළු රේන්ද ශිල්පිනියක වූ ඩී.ජී. පද්මිණි බීරළු රේන්ද ගොතන ආකාරය

 



අදහස් (0)

බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහුණු බීරළු රේන්ද කර්මාන්තය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1063 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site