ඉන්දීය ධීවරයන් එන යාත්‍රා අපේ ටෝලර්වලටත් වඩා විශාලයි


එක රෑනට යාත්‍රා 10 ක් 15 ක් එනවා අපේ ධීවරයන් දාපු දැල් කපලා විනාශ කරනවා


කියන්න පුළුවන් හැම කෙනාටම කිව්වත් තාමත් පිළිතුරක් නැහැ


පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ


ඉන්දීය ධීවර යාත්‍රා වයඹ හා උතුරු මුහුද වනසමින් මත්ස්‍ය කොල්ලයක නිරත විමත් සමග ශ්‍රී ලංකික ධීවරයන් සහ ඉන්දියන් ධීවරයන් අතර ගැටුම්කාරි තත්වයක් මතුව ඇති බව ධීවර සංගම් චෝදනා කරයි.

ඉන්දියාවේ තමේල්නාඩු ප්‍රාන්තයට අයත් තුත්තුකුඩිය හා රාමේෂ්වරම් යන ප්‍රදේශවලින් පැමිණේන ධීවරයන් මෙලෙස වයඹ මුහුදු තීරයේ බත්තලන්ගුන්ඩුව දුපතට ආසන්නයේ කිලෝ මීටර් පහක ආසන්නයට පැමිණෙන බවත් උතුරු මුහුදු තීරයේ ප්‍රදේශ රැසකටද මෙලෙස මෙම ධීවරයන් දැවැන්ත යාත්‍රා මගින් කඩා වැදී මුහුද වනසමින් බොටම් ට්‍රෝලින් පන්න ක්‍රමය සිදුකරන බව ලාංකික ධීවරයෝ පවසති.

වයඹ මුහුදු තීරයට මේ වන විට වාරකන් සමය උදා වී ඇත්තේ මෙම කලාපයේ මත්ස්‍ය බෝ විමට ස්වාභාවික ක්‍රියාවලියකට මගපාදා දෙමිනි. එහෙත් ඉන්දියන් දැවැන්ත ධීවර යාත්‍රා මෙම කලාපයේ සිදුකරන බොටම් ට්‍රෝලින් තහනම් මත්ස්‍ය ක්‍රමය හේතුවෙන් මුහුදු පරිසරයට දැවැන්ත හානියක් සිදුවීම වැළැක්විය නොහැකි බව බත්තලන්ගුන්ඩුව ධීවරයෝ පවසති.

 

මේ පිළිබඳව අදහස් දැක්වූ බත්තලන්ගුන්ඩුව විස්සෝප මාතා ධීවර සමිතියේ ලේකම් ඇන්ටන් ෆොන්සේකා මහතා මෙලෙස පැවසීය.

“ඉන්දියන් ධීවරයන් අපිට දැන් පුදුම හිසරදයක්. ඒ අය එන යාත්‍රා අපේ ටෝලර්වලටත් වඩා විශාල ඒවා. ඒ මදිවට මුළු මුහුදම සූරාගෙන යනවා. එක රෑනට යාත්‍රා 10ක් 15 ක් එනවා. සමහර දවස්වලට 50 - 100 ත් එනවා. අවුරුද්දකට පෙර මන්නාරම මුහුද විනාශ කරලා දැම්මා. දැන් බත්තලංගුන්ඩුව මුහුද වනසනවා.

අපේ ධීවරයන්ට පුදුම කරදරයක් කරනවා. අපි දාපු දැල් කපලා විනාශ කරනවා. මේ නිසා අපේ අය නිතර නිතර ගැටුම්වලට පැටලෙන්න යනවා.

ඒ යාත්‍රා ළඟට යන්නේ නැහැ. ඉන්දියන් යාත්‍රා යකඩවලින් හදපුවා. අපේ ඒවා ෆයිබර්වලින් හදපුවා. අපේ අය ළඟට යද්දි හප්පනවා. අපේ යාත්‍රා කුඩු වෙනවා. එහෙත් වගකිව යුතු බලධාරීන් මේ ගැන තාමත් පිළිතුරක් දෙන්නේ නැහැ.

මේ ඉන්දියන් ධීවර යාත්‍රාවලින් කරන බොටම් ට්‍රෝලින්වලින් මුළු මුහුදම විනාශයි. කෙටියෙන්ම කිව්වොත් ඔය බොටම් ට්‍රෝලීන් දාලා මුහුදු පතුලේ ඉඳලා ඇදලා ආයේ මාළු පැටියෙක්වත් හැදෙන්නේ නැති තැනට කටයුතු කරනවා. මත්ස්‍යයන් වර්ධනය වන මුහුදු පැළෑටි සියල්ලම වනසනවා. මේ තමා ඉන්දීයන් විනාශය. අපි කියන්න පුළුවන් හැම කෙනාටම කිව්වා තාමත් පිළිතුරක් නැහැ. ඉඳලා හිටලා නේවි එකෙන් එක ඉන්දියන් යාත්‍රාවක් අල්ලනවා. ඒක හරියන්නේ නැහැ. 

 

බත්තලන්ගුන්ඩුව දුපතේ විස්සෝප මාතා ධීවර සමිතියේ සභාපති ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. 

“ඉන්දියන් ධීවරයන් නිසා මේ වෙද්දි අපේ රස්සාව නැති තැනට වැටිලා. දැන් බත්තලංගුන්ඩුව වනසනවා. පසුගිය දවස්වල උච්චමුනේට උඩින් මුහුද මේ ඉන්දියන් කාරයෝ විනාශ කළා. තව ටික දවසකින් කන්දකුලිය, තලවිල පැත්තටත් එන්න පුළුවන්. ඒ තරමට මේ ඉන්දියන් ධීවරයන් අපිට හිසරදයක් වෙලා.

 

ජාතික ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික්කයේ අජීත් ගිහාන් මහතා මෙසේ පැවසීය.

“මේ ප්‍රශ්නය ගැන අපි රජයක් ලෙස අපේ ධීවරයන් වෙනුවෙන් පෙනී සිටිමක් කර තිබෙනවා. මෙය අද ඊයේ ප්‍රශ්නයක් නොවෙයි. ඉන්දියාවේ යාත්‍රා දෙසීය තුන්සීය තිබෙන ධීවර මුදලාලිලා කරන වැඩක්. ඒ මුදලාලිලාගේ කුලී පදනමට වැඩ කරන ධීවරයන් තමා මේ විනාශය කරන්නේ. මේ ගැන අපි රාජතාන්ත්‍රික ලෙස ඉන්දියාවත් සමග අදාළ සාකච්ජා කරමින් ඉන්නේ.

මෙවර ප්‍රශ්නය එද්දි අපේ ධීවරයන් ගැටුම්වලට යාම වළක්වාලමින් නාවික හමුදා මුර සංචාර වැඩි කරමින් අදාළ කටයුතු කරමින් සිටින්නේ. මේ ඉන්දියන් ධීවරයන් නීති විරෝධී ලෙස ජාත්‍යන්තර මුහුදු කලාප උල්ලංඝනය කරන එකට අපි අපේ ධීවරයන් වෙනුවෙන් පෙනී සිටිම අනිවාර්යයෙන් සිදුවෙනවා.

 

දශක පහකට වැඩි කාලයක් කල්පිටිය මුහුදු කලාපයේ ධීවරයකු ලෙස කටයුතු කළ කන්දකුලිය නොයෙල් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. 

“අපි මුහුදේ ධීවර රැකියාව පටන් ගත්තේ වල්ලමයි, තෙප්පමයි එක්ක. ඒ අවුරුදු 40 කට කලින්. ඒ කාලයේ අපිට එන්ජීන් යාත්‍රා තිබුණේ නැහැ. අපි හොඳ රැකියාවක් කළා. පසසේ අපි එන්ජීන් යාත්‍රා භාවිත කරන්න ගත්තාම ඒ කාලයෙත් හොඳ අස්වැන්නක් ලැබුණා.

දැන් අවුරුදු 10 ක ආසන්න කාලයක ඉඳලා ධීවරයාට වියදමට සරිලන අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. ලොකු මුදලක් වැය කරලා බෝට්ටුවලට තෙල් ගහගෙන ගිහින් පොඩි මාළු අස්වැන්නක් තමා අරන් එන්නේ. මෙය ධීවරයා නැති කරන තැනට ආවා. 

මේ තත්වයට මූලිකව බලපෑවේ මේ ඉන්දියාවෙන් එන බොටම් ට්‍රෝලින් ක්‍රමය නිසා මුළු මුහුදම වැනසීමයි. ඉන්දියන් ධීවරයන් අපේ ධීවරයාට වාරකන් කාලයට. ඒ කියන්නේ ඒ වාරකන් මාසයට මසුන් බෝ වෙන්න ඉඩ දිලා මුහුද ආරක්ෂා කරද්දි ඉන්දියන් ධීවරයන් ඇවිත් මුහුද වනසා දමනවා. 

මේ රජය යටතේවත් මෙය නැවැත්විම කළ යුතුයි කියන බලාපොරොත්තුවක අපි ඉන්නවා.

 

පුත්තලම් දිස්ත්‍රික් ග්‍රාමිය ධීවර සමිති සංවිධානයේ සභාපති හියුමන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

“ඉන්දියන් ධීවරයන් මේ කරන විනාශය කියා ගන්න බැරි තරම්. මේ ඉන්දියන් ධීවරයන් නිසා අපේ පොඩි ධීවරයාට දරුණු පහරක් වැදිලා.

ඉන්දියන් ධීවරයන් අපේ මුහුදු සීමාවට එන්නේ මේ කලාපයේ මේ කාලයට කීරමින් මත්ස්‍යා බහුලව සිටින නිසා. ඒ මත්ස්‍ය සම්පත අපි ආරක්ෂා කරගන්න මේ ඉන්දියන් යාත්‍රා ඉවත් කළ යුතුමයි.

 

මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාගෙන් කළ විමසීමේදී මෙසේ පැවසීය. 

“කිසිම විටක ශ්‍රී ලංකාව තුළ බොටම් ට්‍රෝලීන් ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ වාගේම තමා විදේශ යාත්‍රාවලට අපේ මුහුදු සීමාව තුළ මසුන් මරන්න අවසර නැහැ. එසේ දීමටත් කටයුතු කර නැහැ.

මේ නිසා මේ ඉන්දියන් බොටම් ට්‍රෝලීන් ක්‍රමය අපේ මුහුදු තීරයට සම්පූර්ණයෙන් තහනම්. මේ සඳහා අපි විදේශ කටයුතු අමාත්‍යාංශය සමග ඉන්දියාව මැදිහත් කරගෙන මෙම කටයුත්තට අදාළ දේවල් රැසක් කරලා තියෙනවා.

බොටම් ට්‍රෝලීන් හා අනිකුත් යාත්‍රා කිසිම විටක අපේ මුහුදු කලාපයට එවන්නේ නැහැ කියලා ඉන්දියාව අපිට කීවා. එහෙත් එය ප්‍රායෝගිකව සිදු නොවන බව පෙනී යනවා. ඉන්දියාව සමග ඒකාබද්ධ ගිවිසුම් ඇති කර ගෙන තිබුණත් එය නිසි ලෙස ක්‍රියාත්මක වීමක් නොමැති තත්වයක් පවතින්නේ. 

ඉන්දියන් යාත්‍රාවලට ජී.පි.එස්. සවිකර තිබුණත් බහුතරයක් යාත්‍රාවල ඒවා වැඩ කරන්නේ නැහැ. වෙනස් කරමින් මුහුදේ ගමන් කිරීම දැක ගන්න පුළුවන්.

එහෙම වෙද්දි අපි කරන්නේ අපේ නාවික හමුදාව දාලා අත්අඩංගුවට ගැනිම් කරන එකයි. එහිදි පළමුවරට අත්අඩංගුවට පත් වුවකු වුවොත් ඇප දෙනවා. එහෙත් දෙවන හා තෙවන අවස්ථාවල නම් බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර තිබෙනවා. මෙවැනි කටයුතු රැසක් අපි කර තිබෙනවා.