මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු හා ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් හීල් දානය පිරිනමමින්


මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් මහජන බැංකුව අනුරාධපුරයේදි පින්කම් රැසක් සංවිධානය කර තිබිණි. ඒ අනුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අසල සිල් සමාදන් වූ උවසු - උවැසියන් 25,000 කට අධික සංඛ්‍යාවකට 43 වන වරටත් උදෑසන හීල් දානය පිරිනැමිය.
එමෙන්ම මහජන බැංකුව 20 වන වරටත් ඉදිරිපත් කළ පොසොන් බොදු ගී සරණිය පොසොන් පොහෝ දින අනුරාධපුර, රුවන්වැලි මහා සෑ රඳුන් අබියසදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.   
ජාතික ආගමික කටයුතු සඳහා දායකත්වය ලබාදීම සහ සේවක ප්‍රජාව තුළ බොදු බැතිය හා සෞන්දර්යාත්මක කුසලතා ඔප්නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂණය කර මෙහෙයවන ලද්දේ ප්‍රවීණ සංගීතවේදී කරුණාරත්න විජේවර්ධන මහතා විසිනි. මහජන බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය විසින් මෙම වැඩසටහන් සංවිධානය කරන ලදි. එමෙන්ම මහජන බැංකුවේ නුවරවැව ශාඛාව විසින් අයිස්ක්‍රිම් දන්සලක්ද පැවැත්විණි.
වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි මහ සෑ චෛත්‍යරාමධිකාරී, රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ඊතලවැටුනුවැවේ ඥාණතිලක නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති මේ අවස්ථාවලට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, මහජන බැංකුවේ අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ශාඛා කළමනාකරණ) අරුණි ලියනගුණවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (බැංකු සහය සේවා) ඉඳුමිණි රත්නායක, අනුරාධපුර ප්‍රාදේශිය කළමනාකාර තිස්ස තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුලු සහකාර ප්‍රාදේශීය කළමනාකාර කළමනාකාරිනියන්, රාජ්‍ය නිලධාරින් හා මහජන බැංකු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගි වූහ.