• කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත් ස්වෝත්සාහයෙන් ජීවිතය ජය ගැනීමට නම් අරමුණක් තිබිය යුතුයි
  • දකුණු පළාතේ දිරිය කාන්තාව ලෙසත් හොඳම ව්‍යවසායකාව ලෙසත් අවස්ථා කිහිපයකදීම සම්මාන දිනලා

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


ව්‍යාපාරික ලෝකය ජයගත් කාන්තාවෝ අප රටේ සිටිති. ඒ සංඛ්‍යාව අල්පය. එහෙත් උත්සාහය,උනන්දුව හා අධිෂ්ඨානය ඇත්නම් ව්‍යාපාරික ලෝකයෙන්ද ජීවිතය ජය ගැනීමට කාන්තා පිරිමි බේදයක් නැත. එයට සැපයිය හැකි නිදසුන් නැත්තේද නොවේ. බලපිටිය මහලදූවේ මල්කාන්ති කොඩිතුවක්කු එවන් දිරිය කතකි. රටේ අනෙකුත් කතුන්ට ඇය සපයනු ලබන ආදර්ශය විශිෂ්ටය.

මහලදූවේ මල්කාන්ති ව්‍යාපාරික ක්ෂේත්‍රයට එන්නේ අමුතුම ආකාරයටය. ඛේදවාචකයක් සමගය. ඒ ඛේදවාචකය මල්කාන්ති ආශිර්වාදයක් කර ගත්තාය. සැමියාගේ අකල් වියෝවෙන් ඇයට කර කියා ගන්න දෙයක් නැතිවිය.

ඇය කාටවත් තමාත් තමාගේ දරුවාත් බරක් වෙනවාට දැක්වූ අකැමැත්ත නිසාමදෝ ඇය සිය දිවිය ස්ව උත්සාහයෙන්ම ගොඩනගා ගැනීමට තීරණය කළාය. ඒ අනුව ඇය මුලින්ම කළේ ගමේ පාසලේ ආපනශාලාවට කෙටි කෑම දැමීමය. එයින් නොනැවතුණු මල්කාන්ති සිය නිවසේ කුඩා බේකරියක් ඉදිකරවා පාසල් ආපනශාලාවට අවශ්‍ය කෙටි කෑම නිෂ්පාදනය කළාය. මෙය තමා අපේක්ෂා කරන ගමන් මග නොවන බව වටහාගත් මල්කාන්ති ඊට වෙනත් විකල්ප සොයමින් සිටියාය.

මේ කාලයේ මාදු ගඟේ සංචාරක ව්‍යාපාරය ආරම්භ වෙමින් තිබුණි. මෙය මල්කාන්තිගේ නෙත ගැටුණේ ඇයගේ නිවස පාමුල මාදු ගං කොමලිය තිබූ බැවිනි. මාදු ගඟේ මෝටර් බෝට්ටුවලින් සංචාරය කරන දෙස්විදෙස් සංචාරකයන්ට තැඹිලි ගෙඩියක් කෙටි කෑම ටිකක් දෙන්න ඇත්නම් හොඳ යයි ඇය සිතුවාය. එමගින් යම් ආර්ථික වාසියක් තමාට සැලසේ යයි මල්කාන්ති සිතුවාය. එය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මල්කාන්ති සිය නිවස පාමුල මාදු ගඟේ ගං ඉවුරක් පාදක කර ගනිමින් පොල් අතු මඩුවක් ඉදිකර ගත්තාය. තමාගේ මේ කුඩා ව්‍යාපාරය පිළිබඳව ඇය බලපිටියේ මෝටර් බෝට්ටුවලින් සංචාරකයන් මාදු ගඟට සංචාරය කරවන මෝටර් බෝට්ටු හිමියන් දැනුම්වත් කළාය. තමාට සහයෝගයක්, උදව්වක් ලෙස ඔවුනගේ සංචාරක මෝටර් බෝට්ටු ගං ඉවුරේ ඇති තමාගේ පොල් අතු පැලේ පවත්වාගෙන යනු ලබන කුඩා සංචාරක ආපනශාලාව අසල නවත්වන ලෙස ඇය ඉල්ලා සිටියාය.

මල්කාන්තිගේ මේ ඉල්ලීමට ඇතැම් අය නම්‍යශීලී වුවද තවත් සමහරක් අය එම ඉල්ලීම අහක දැමීය. එයින් කම්පා නොවූ මල්කාන්ති තමාගේ කුඩා පොල් අතු මඩුවට පැමිණෙන සැම ඉතාමත්ම ගෞරවාන්විතව පිළිගත්තාය. සෑම සංචාරකයකුටම හොඳ සේවාවක් ලබා දුන්නාය.

එතැන් සිට සිදුවූ දේ අපි පවසා වැඩක් නොවන බැවින් ඒ ගැන පැවසීමට අප මහලදූවේ මල්කාන්තිට ආරාධනා කළෙමු. මේ ඇයගේ ප්‍රතිචාරයයි.

කුඩා කාලයේ ඉඳලාම මම පුරුදු වෙලා හිටියා අභියෝග භාර ගන්න. මගේ ජීවිතේ මට ලොකුම අභියෝගයක් ආවා. ඒ තනිවීම. ඒ තනිවීම තනිවීමක් කර නොගත් මම හැමවිටම කල්පනා කළේ කොහොමද තනිවූ මම තනිවම නැගිටින්නේ කියලා. ඒ අනුව මම විවිධ ක්‍රියාකාරකම්වල නිරත වුණා. පාසලේ ආපනශාලාවට කෙටි කෑම දැම්මා. පොඩි බේකරියක් කළා. පලා වර්ග වැව්වා. ඔය වගේ දේවල් කළා. පස්සේ මට තේරුණා මම හොයන දේ මේක නොවන බව. ඒ අනුව මම විවිධ පැති ඔස්සේ කාලයක්ම කල්පනා කළා. එහෙම කල්පනා කරන කොට තමයි මාදු ගඟේ සංචාරක ව්‍යාපාරය පටන් ගෙන තිබුණේ.

මට මතක හැටියට ඒ 1998 අවුරුද්දයි. මාදු ගඟේ යන සංචාරකයන්ට සංචාරය අතරතුර බොන්න වතුර බෝතලයක්, තැඹිලි ගෙඩියක් ගන්න තැනක් තිබුණේ නැහැ. මම තීරණය කළා මාදු ගඟේ සංචාරකයන් වෙනුවෙන් ඒ සේවාව පටන් ගන්න. ඒක මම එදා පටන් ගත්තේ පොල්අතු හට් එකකින්. දන්න සිංහලෙන් කියනවනම් පොල් අතු මඩුවකින්. මාදු ගඟේ සංචාරකයන් වෙනුවෙන් කාන්තාවක් මේ වගේ ව්‍යාපෘතියක් ආරම්භ කළේ පළමු වරටයි. මම මගේ මේ වැඬේ ගැන බලපිටියේ මෝටර් බෝට්ටු හිමියන් දැනුම්වත් කළා. හැකිනම් මාදු ගඟේ සංචාරය කරන අතරතුර මගේ මේ පොඩි සංචාරක නවාතැන් පොළටත් බෝට්ටු අල්ලන්න කියලා. සැලකිය යුතු පිරිසක් සංචාරකයන් රැගෙන යන බෝට්ටු මගේ පොල් අතු පැළ නවාතැනට ආවා. සමහරු එහෙම කළේ නැහැ. මට ඒ අයගැන අහිතක් නැහැ.

මගේ නවාතැනට මෝටර් බෝට්ටුවලින් ආ සංචාරකයන්ව මම හොඳින් පිළිගත්තා. ඒ වගේම ඔවුන් අපේක්ෂා කළ පහසුකම් උපරිමයෙන්ම ලබලා දුන්නා. ඒ අය මගේ පොල්අතු මඩුවේ පවත්වාගෙන ගිය සංචාරක නවාතැනට ගොඩක් ඇලු‍ම් කළා. එක පාරක් පැමිණි අයෙක් ආයෙත් පාරක් එන්න හිතෙන මට්ටමට මම ඒ අයත් එක්ක සුහදතාව ගොඩනගා ගත්තා. ඒ එක්කම දිනපතාම මෙහි එන සංචාරකයන් වැඩි වෙන්න පටන් ගත්තා.

මල්කාන්ති පැවසූ ආකාරයට ඇයගේ මේ පොල් අතු මඩු සංචාරක නවාතැන් පොළට එන පිරිසට එය කොහෙත්ම ප්‍රමාණවත් නොවීය. සිය පොල් අතු මඩු සංචාරක නවාතැන් පොළ වටපිටාව එදා අරක්ගෙන සිටියේ මහා මූකලානකි. ඇය මේ මහා මූකලාන පමණක් ඉවත් කරමින් මාදු ගං ඉවුරුවලට ආවේනික ශාක පමණක් ඉතිරි කරමින් එම ස්ථානයේ වපසරිය වැඩි කර ගත්තාය. එහි එක් ප්‍රතිඵලයක් ලෙස පොල් අතු මඩු සංචාරක නවාතැන් පොළ එම ස්ථානයෙන් ඉවත් කිරීමට මල්කාන්ති පියවර ගත්තාය. එම ස්ථානයේ නව ස්ථීර සංචාරක ගොඩනැගිල්ලක් ඉදිකෙරුණේ ඉන්පසුවය. මේ නව සංචරක මධ්‍යස්ථානය ඉදිකිරීමත් සමග එම ස්ථානයට මාදු ගඟ සංචාරයට එන දෙස් විදෙස් සංචරකයන් වැළ නොකැඩී ඒමට පටන් ගත්තේය. මෙය මල්කාන්තිගේ සංචාරක ව්‍යාපාරයේ දියුණුවේ හැරවුම් ලක්ෂ්‍යය විය. එම ස්ථානය සඳහා සංචාරක මධ්‍යස්ථානයකට අවශ්‍ය අංගෝපාංග සියල්ලම සැපයීමට මල්කාන්ති පියවර ගත්තාය. ඒ සමගම ඇය මේ ස්ථානයේ සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සමගම මහලදූව හා ඒ අවට උත්සව සඳහා මේ ස්ථානය විවෘත කළාය.

මම මේ ස්ථානය අපේ ගම්මාන වල පැවැත්වෙන උත්සව සඳහා විවෘත කිරීමත් සමගම වැඩ ආවා. ඒ සමගම මට තේරුණා මේ ස්ථානයේ ඇති ඉඩකඩ ඒ සඳහා ප්‍රමාණවත් නොවන විත්තිය. ඒ අනුව මම මගේ සංචාරක මධ්‍යස්ථානය පුළුල් කිරීමට තවත් ගොඩනැගිලි කිහිපයක් ඉදි කළා. 

ඒ පිළිබඳව තව දුරටත් කතා කරමින් ඇය මෙසේ ද කීවාය.

ඇත්තටම අද මම ඉන්න තත්වය ගැන අවංකවම සතුටු වෙනවා. මගේ මේ ව්‍යාපාරයෙන් මට සහ දරුවට ඉන්න දෙමහල් නිවසක් ඉදිකර ගත්තා. මෙතනට එන්න කළ කැප කිරීම ඒ වෙනුවෙන් ගත්ත උත්සාහය,මහන්සිය ගැන දන්නේ මමත් උඩ ඉන්න දෙවියනුත් පමණයි. අද මට මගේ සංචාරක ව්‍යාපාරයෙන් ඕනෑම උත්සවයක් සඳහා දෙසීයකට ආසන්න සංඛ්‍යාවකට අවශ්‍ය පහසුකම් දෙන්න පුළුවන්. ඒ තරමටම මම මගේ ස්ථානය පුළුල් කළා. කියන්න සතුටුයි මාදු ගඟ පාදක කර ගනිමින් මේ වගේ සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යන එකම කාන්තාව මමයි. ඒ නිසාමදෝ මම අපේ පළාතේ දිරිය කාන්තාව ලෙසත් හොඳම ව්‍යවසායිකාව ලෙසත් අවස්ථා කිහිපයකදීම සම්මාන දිනා ගෙන තියෙනවා. එය මම ලැබු ලොකු ජයග්‍රහණයක්. මාදු ගඟ පාදක කර ගනිමින් සංචාරක මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් සම්මාන දිනාගත් මාදු ගඟේ දූපතක වෙසෙන එකම කාන්තාවත් මමයි. මේ තත්වයට ඒමට මට ගොඩක් අය උදව් කළා. ඒ සැමටම ස්තූති කරන්නත් මම අවස්ථාවක් කර ගන්නවා.

මට කියන්න තියෙන්නේ ස්ව උත්සාහයෙන් ජීවිතය ජය ගන්න කාන්තා පිරිමි කියන බේදයක් අවශ්‍ය නැහැ. කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත් ස්ව උත්සාහයෙන් ජීවිතය ජය ගැනීමට නම් අරමුණක් තිබිය යුතුයි. ඒ අරමුණ ඔස්සේ අවංකවම කැපවිය යුතුයි. එන බාධක සියල්ලටම හොඳින් මුහුණ දිය යුතුයි. මගේ ව්‍යාපාරය සඳහා බාධක නොආවාම නොවේ. මම ඒ කිසිම බාධාවකින් සැලු‍ණේ නැහැ. මගේ අරමුණ ඔස්සේ වැඩ කළා. කැපවුණා. ඒ තුළින් ජීවිතය ජය ගත්තා.