SLAM Power Solutions විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය වෙනුවෙන් අති නවීන මයික්‍රොග්‍රිඩ් බලශක්ති පද්ධතියක් නිල වශයෙන් ස්ථාපිත කර ක්‍රියාත්මක කරන ලදී. ජාතික විදුලි බල පද්ධතියේ පවතින අස්ථාවර භාවයට සාර්ථක විසඳුමක් ලබා දෙමින්, පීඨයේ පරිගණක විද්‍යාගාර සහ කෘත්‍රිම බුද්ධි (AI) සේවාදායක (Servers) සඳහා බාධාවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීම මෙමගින් තහවුරු කෙරේ. 
මීට පෙර භාවිත කළ සාම්ප්‍රදායික UPS පද්ධති මගින් විදුලිය ඇනහිටීමකදී බලශක්තිය ලබාගත හැකි වූයේ මිනිත්තු කිහිපයක් පමණි. එමෙන්ම ඩීසල් ජෙනරේටර් යොදා ගැනීමේදී අධික පිරිවැයක් මෙන්ම ඉන්ධන සපයා ගැනීමේ අපහසුතා ද මතුවිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක මහතාගේ පරිසර හිතකාමී සහ තිරසාර ඉංජිනේරු විසඳුම් පිළිබඳ දැක්මට අනුගත වෙමින්, මෙම ව්‍යාපෘතියෙන් අත්‍යවශ්‍ය බලශක්ති අවශ්‍යතා පිරිසුදු බලශක්තිය සමග සාර්ථකව ඒකාබද්ධ කර ඇත.
වසර 10කට පමණ පෙර සවිකර තිබූ, අක්‍රීය තත්වයේ පැවති 60 kW සූර්ය බලශක්ති පද්ධතියක් යළි නවීකරණය කරමින්, ඒ සඳහා  100 kWh BSLBATT  ලිතියම්-අයන් බැටරි ගබඩා පද්ධතියක් එක් කිරීමටSLAM Power Solutions  කටයුතු කළේය. මෙම ස්මාර්ට් මයික්‍රොග්‍රිඩ් පද්ධතිය සඳහා නෙදර්ලන්තයේ Victron Energy ඉන්වර්ටර් තාක්ෂණය සහ බුද්ධිමත් ආලෝකකරණය හා විදුලි ප්‍රමාණය පාලනය සඳහා එක්සත් රාජධානියේ  Shelly ස්වයංක්‍රීය පාලන පද්ධති ද භාවිත කර තිබේ.
විද්‍යාගාර සඳහා විශ්වාසනීය බලශක්ති සැපයුමක් ලබා දීමේ සහ අනාගත ඉංජිනේරුවන්ට නවීන තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමේ අරමුණින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ E72-75 ආදි විද්‍යාර්ථීන්ගේ කණ්ඩායම විසින් මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන සපයන ලදී.
මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතා සහභාගී වූහ. මීට අමතරව ආචාර්ය සුනිල් ද සිල්වා මහතා ඇතුළු E72-75 කණ්ඩායමේ නියෝජිතයන්, ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) නියෝජිතයන්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ පීඨයේ ආචාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අත්‍යවශ්‍ය තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සුරක්ෂිත කිරීමට අමතරව, ඉංජිනේරු විද්‍යාර්ථීන්ට පුනර්ජනනීය බලශක්ති ගබඩා කිරීම, ස්වයංක්‍රීයකරණය සහ මයික්‍රොග්‍රිඩ් සැලසුම්කරණය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා දෙන ක්‍රියාකාරී අධ්‍යයන විද්‍යාගාරයක් ලෙස ද මෙම ව්‍යාපෘතිය උපකාරී වේ.