තැන්පත්කරුවන්ගෙන් සියයට 99.1කගේ මුදල් සම්පූර්ණයෙන්ම පියවීමට හැකියාව
ඉතිරි සියයට 0.9 ක තැන්පතුවලින් කොටසක් ලෙස රුපියල් ලක්ෂ 11ක් ලබා දීමට යයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී බැංකු නොවන මුදල් සමාගමක් වන නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම ගණන් බේරා වසා දැමීමට තීරණය කළ බව මහ බැංකුව පවසයි. ඒ අනුව 2026 ජූලි 03 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එම සමාගමේ බලපත්‍රය අවලංගු කිරීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.
එහි පළමු පියවර ලෙස අදාළ සමාගම සම්බන්ධයෙන් ගනු ලැබූ නිරාකරණ ක්‍රියාමාර්ග යටතේ 2025 ජූලි සිට එහි සියලු වත්කම්, මෙහෙයුම් සහ ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන්ම පාලනය කිරීම, සමාගමේ නමින් සහ සමාගම වෙනුවෙන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහාත් අද්මිනිස්ත්‍රාසිකරුවකු ලෙස ජී.ඩබ්ලිව්.ඩී.එන්.ආර්. රොද්‍රිගු මහතා පත් කිරීමටද මහ බැංකුව කටයුතු යෙදූ බව පවසයි.
එසේම මුල්‍ය තත්වය පිරිහීමට ලක් වූ අදාළ සමාගමේ පැවැත්ම තහවුරු කිරීම සඳහා විවිධ ව්‍යුහමය විකල්ප සලකා බැලීම යටතේ, සුදුසු ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට ඊට උනන්දුවක් දක්වන පාර්ශ්ව වෙත විවෘත ආරාධනාවක් නිකුත් කළද, වඩාත් සුදුසු සහ දිගුකාලීනව තිරසාර විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී තිබේ.
“නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සීහි මූල්‍ය තත්වයෙහි අඛණ්ඩ පිරිහීම සහ එම තත්වය තවදුරටත් පැවතීම, තැන්පත්කරුවන් සහ අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශ්වවලට අහිතකර වන බව සලකා බලමින්, නිරාකරණ ක්‍රියාවලියේ අවසන් පියවර ලෙස මෙලෙස එය වසා දැමීමට තීරණය කර තිබෙනවා.” මහ බැංකුව පවසයි.
මෙලෙස සමාගමේ බලපත්‍රය අවලංගු කර එය වසා දැමීමෙන් අනතුරුව එහි තැන්පත්කරුවන් සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය මගින්, එක් තැන්පත්කරුවෙක් සඳහා උපරිමය රුපියල් ලක්ෂ 11ක් දක්වා වන්දි ගෙවීමටද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
“මේ යටතේ සමාගමේ සමස්ත තැන්පත්කරුවන්ගෙන් සියයට 99.1ක් සම්පූර්ණයෙන් පියවීමට හැකි වන අතර, ඉතිරි සියයට 0.9ක් වන තැන්පත්කරුවන්ටද ඔවුන්ගේ තැන්පතු මුදලින් කොටසක් ලෙස රුපියල් ලක්ෂ 11ක් ලබා දෙනු ඇත.” මහ බැංකුව පවසයි.
මෙහිදී බලපත්‍රය අවලංගු කරන දිනට එක් එක් තැන්පත්කරු වෙනුවෙන් සුදුසුකම් ලත් සියලුම තැන්පතු සහ නොගෙවූ උපචිත පොලී ඒකාබද්ධ කිරීමෙන් පසුව ගෙවිය යුතු වන්දි මුදල ගණනය කරනු ලබන බව මහ බැංකුව පවසයි. එසේම ඉතිරි වන ශේෂයක් හිමිකම් පෑමේ ප්‍රමුඛතාවලට යටත්ව, ඈවර කිරීමේ ක්‍රියාවලියේදී තැන්පත්කරුවන්ට අය කරගැනීමේ හැකියාව පවතී.
“බලපත්‍රය අවලංගු කළ දිනයේ සිට වසර 6ක උපරිම කාලයක් තුළ එනම් 2032 ජූලි 02 දිනට හෝ ඊට පෙර නිසි ලෙස පිරවූ අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන්, තැන්පතු රක්ෂණ වන්දි ලබා ගත හැකියි. එම වන්දි ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ තොරතුරු මාධ්‍ය මගින් දැනුම් දෙනු ඇත. ඒ අනුව තැන්පත්කරුවන් විසින් තම මුල් තැන්පතු සහතික සහ අදාළ අනන්‍යතා සනාථ කිරීමේ ලේඛන සූදානම්ව තබා ගන්නා ලෙස දැනුම් දෙමු.” මහ බැංකුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd