ඒකක භාර හෙවත් යුනිට් ට්‍රස්ට් තුළ ආයෝජනය හොඳම විසඳුමයි


ඒකක භාර සඳහා ඇත්තේ සියයට 10 ක රඳවා ගැනීමේ බද්ද පමණයි.


ආර්ථිකයේ ඉහළ උද්ධමනයක් පවතින වර්තමානයේදී මූල්‍ය සැලසුම්කරණයේ මූලික ගැටලුව වන්නේ කොපමණ මුදලක් ඉතිරි කළාද? යන්න නොව, ඔබේ මුදල් කොතරම් කාර්යක්ෂමව වැඩ කරනවාද යන්න බව ශ්‍රී ලංකා ඒකකභාර සංගමයේ හිටපු සභාපතිනිය සහ JB Financial  හි ප්‍රධාන විධායක නිලධාරිනී ක්‍රිස්ටීන් ඩයස් බණ්ඩාරනායක මහත්මිය පවසයි.
 ‘‘වසර කිහිපයකට පෙර රුපියල් 10,000 කින් පිරුණු බඩු මල්ලක් අද ඒ තරම්ම පිරෙන්නේ නැහැ. ඊට හේතුව උද්ධමනයයි. පාසල් ගාස්තු, විදුලි බිල්පත්, ගෑස්, රක්ෂණ වාරික, ප්‍රවාහන වියදම් මිල ඉහළ යනවා. බොහෝ දෙනාට දැනෙන්නේ ආදායම අඩු වී ඇති බවයි. සිදුවන්නේ මුදලේ මිලදී ගැනීමේ හැකියාව අඩු වීමයි.’’
ඊට විසඳුම වන්නේ මුදල් තැන්පත් කිරීම නොව මුදල් වර්ධනය වන ආයෝජන අවස්ථා වෙත යාම බව ඇය පෙන්වා දෙයි. එහිදී නිවැරදි ආයෝජනය යනු නිවැරදි අරමුණට නිවැරදි විසඳුම තෝරා ගැනීම බව පවසන ඇය, බොහෝ සාර්ථක ආයෝජකයන් මුදල් සිය අරමුණ අනුව වෙන් කරන බවත් සඳහන් කරයි.
මෙහිදී ඒකක භාර හෙවත් යුනිට් ට්‍රස්ට් තුළ ආයෝජනය ඉතාමත් වැදගත් අවස්ථාවක් බව ඇය අවධාරණය කරයි. විශේෂයෙන්ම කාර්යබහුල පුද්ගලයන්ට සාර්ථක ආයෝජනයක් සඳහා වෙළෙඳපොළ දිනපතා නිරීක්ෂණය කිරීම අවශ්‍ය නොවීම මෙහි ඇති වාසියකි.
‘‘ඒකක භාර අරමුදල් හරහා ආයෝජකයන්ගේ මුදල් වෘත්තීයමය ලෙස කළමනාකරණය කරන විවිධාංගීකරණය කළ ආයෝජන කළඹකට යොදවනවා. එමගින් තනි පුද්ගලයකුට තනිව ගොඩනගා ගැනීමට අපහසු ආයෝජන විවිධත්වයක් ලබාගත හැකියි.’’
ඇයට අනුව ඒකක භාර අරමුදල් බදු සම්ප්‍රේෂණ (Tax Pass-through) ආයෝජන ව්‍යුහයක් බැවින් අරමුදල් මට්ටමේ සියයට 10ක රඳවා ගැනීමේ බද්ද හැර වෙනත් අමතර බදු බරක් ඊට නැත. එමගින් ආයෝජකයන්ට බදු කාර්යක්ෂම ආකාරයකින් වෘත්තීය ආයෝජන කළමනාකරණ සේවාවක් ලබාගැනීමටද හැකියාව ලැබේ.
 ‘‘මේ ආයෝජන අවශ්‍යතාව අනුව වර්ග කෙරෙනවා. හදිසි වෛද්‍ය වියදමක්, දරුවකුගේ පාසල් ගාස්තුවක් හෝ අනපේක්ෂිත වියදමක් සඳහා වෙන් කරන මුදල් ඕනෑම මොහොතක ලබාගත හැකි විය යුතුයි. Money Market Fund හොඳම විකල්පයක්. නිවසක් මිලදී ගැනීම, ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ දරුවකුගේ උසස් අධ්‍යාපනය වැනි මධ්‍ය කාලීන අරමුණු සඳහා මුදල් වර්ධනය වීමට ඉඩ ලබාදෙන Income Fund වැනි ආයෝජන වඩාත් සුදුසුයි. ඊට අමතරව විශ්‍රාම ජීවිතය, පවුලේ ඊළඟ පරම්පරාව සඳහා ධනයක් ගොඩනැගීම හෝ දිගුකාලීන වත්කම් නිර්මාණය කිරීම වැනි අරමුණු සඳහා Equity Fund වැනි වර්ධනය ඉලක්ක කරගත් ආයෝජන සුදුසුයි’’ ඇය පෙන්වා දෙයි.
ඒ අනුව සෑම ආයෝජනයක්ම එකම කාර්යයක් සඳහා නිර්මාණය කර නොමැති බවත්, ඒ නිසා ආයෝජනයක් තෝරා ගැනීමට පෙර, ඔබේ අරමුණ සහ මුදල අවශ්‍ය වන කාලය පිළිබඳව අවබෝධය වැදගත් බවත් ඇය සඳහන් කරයි.
 ‘‘උද්ධමනය, පොලී අනුපාත අපිට පාලනය කළ නොහැකි දේවල්. වෙළෙඳපොළ කෙටි කාලීනව හැසිරෙන ආකාරයද අපේ පාලනයෙන් පිට පවතින්නේ. එහෙත් අපේ මුදල් කොහෙද තබන්නේ, එය කෙසේ බෙදා හරින්නේද සහ අපේ අනාගතය සඳහා කෙසේ එම මුදල් වැඩ කරවන්නේද යන තීරණය සම්පූර්ණයෙන්ම අපේ අතේ තිබෙන්නක්.’’
ඒ අනුව දිගුකාලීන ධනය ගොඩනඟන්නේ වෙළෙඳපොළ අනුමාන කළ අය නොවන බවත්, තම මුදල් සඳහා සැලැස්මක් තිබූ අය බවත් ඇය වැඩිදුරටත් පවසයි.