|
DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා |
Standard Chartered ශ්‍රී ලංකා හි ධන කළමනාකරණ සහ පුද්ගලික බැංකුකරණ ව්‍යාපාරය අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව නිම කළ බව DFCC බැංකුව නිවේදනය කරයි. මෙම පියවරත් සමග ගනුදෙනුකරුවන් 50,000 කට ආසන්න පිරිසක් සහ අදාළ ව්‍යාපාරික අංශයේ සේවකයන් මේ වන විට DFCC බැංකුව සමග එක්ව සිටී.
මෙලෙස අත්පත් කරගැනීමට ප්‍රමුඛතා බැංකුකරණ සේවා, ක්‍රෙඩිට් කාඞ්, පුද්ගලික ණය ලබාදීම්, තැන්පතු, ධන කළමනාකරණ සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) ආදී ක්ෂේත්‍රවල ගනුදෙනුකාර සබඳතා මෙන්ම තෝරාගත් මෙහෙයුම් වත්කම් ද ඇතුළත් වේ. මෙමගින් DFCC බැංකුවේ පුද්ගලික බැංකුකරණ, ධන කළමනාකරණ සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රවල ධාරිතාව වැඩිදියුණු වන අතර එම ව්‍යාපාරවල පරාසය සහ සේවා ව්‍යාප්තිය තවදුරටත් පුළුල් වේ.
මෙම ක්‍රියාවලිය සැලසුම් කර ඇත්තේ ගනුදෙනුකරුවන්ගේ බැංකු කටයුතුවල අඛණ්ඩතාව තහවුරු වන පරිදිය. ආයතන ද්විත්වය අතර පැවැති මාස ගණනාවක සවිස්තරාත්මක සූදානම සහ සමීප සහයෝගීතාව හේතුවෙන්, ගනුදෙනුකරුවන්ට තම එදිනෙදා බැංකු කටයුතු, සබඳතා සහ සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇත. ඔවුන්ගේ පවතින Standard Chartered ගිණුම් අංක, නව DFCC බැංකු ගිණුම් අංකවලට අමතරව තවදුරටත් භාවිත කළ හැකි අතර, පවතින ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත්, කාඩ්පත් PIN අංක, ස්ථාවර නියෝග, සෘජු ගිණුම් හරකිරීම් සහ නැවත නැවත සිදුවන ගෙවීම් පෙර පරිදිම බාධාවකින් තොරව ක්‍රියාත්මක වේ.
ගනුදෙනුකරුවන් පෙර සුරක්ෂිත කර තිබූ ගෙවීම් ලබන්නන්ගේ තොරතුරු ද බැංකුවේ DFCC ONE සහ DFCC iConnect යන ඩිජිටල් බැංකුකරණ යෙදවුම් වෙත යොමු කර ඇති අතර, එමගින් බැංකුවක් මාරු කිරීමේදී ගනුදෙනුකරුවන් මුහුණ දෙන ප්‍රධානතම අපහසුතාවක් මඟහැරී යයි.
DFCC බැංකුව සමග එක්වූ නව ගනුදෙනුකරුවන්ට දැන් බැංකුවේ පුළුල් පරාසයක පැතිරුණු පුද්ගලික බැංකුකරණ, ධන කළමනාකරණ, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, කාඩ්පත් සහ ණය විසඳුම් සඳහා ප්‍රවේශය හිමිවේ. දිවයින පුරා පිහිටි DFCC බැංකු 130 කට අධික ශාඛා ජාලය, LankaPay ජාලය හරහා 5,000 කට වැඩි ATM යන්ත්‍ර සඳහා ප්‍රවේශය, DFCC ONE, DFCC iConnect සහ විශේෂිත පාරිභෝගික සේවා නාලිකා මගින් ඔවුන් වෙත සේවාවන් සපයනු ලබයි.
මෙම සාර්ථක ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසීය. ”ආරම්භයේ සිටම අපගේ ප්‍රධාන අවධානය යොමු වූයේ මෙම සංක්‍රාන්ති ක්‍රියාවලිය ගනුදෙනුකරුවන්ට ඉතා සුමට හා හුරුපුරුදු එකක් බවට පත්කිරීම කෙරෙහිය. එම සුමට අත්දැකීම පිටුපස මාස ගණනාවක සවිස්තරාත්මක සැලසුම්කරණය, සමීප සහයෝගීතාව මෙන්ම ආයතන දෙකෙහිම කණ්ඩායම්වල සුවිශේෂී කැපවීමෙන් යුත් අතිශය සංකීර්ණ තාක්ෂණික වැඩසටහනක් ක්‍රියාත්මක විය.
මෙහි සාර්ථකත්වය යනු එම තාක්ෂණික සංකීර්ණතාව ගනුදෙනුකරුවන් වෙත අවම වශයෙන් හෝ දැනීමට ඉඩ නොතැබීමයි. ඔවුන්ගේ පවතින Standard Chartered ගිණුම් අංක, නව DFCC Bank ගිණුම් අංක සමගින් තවදුරටත් භාවිත කළ හැක. පවතින ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මෙන්ම ඒවායේ PIN අංක ද තවදුරටත් භාවිත කළ හැකි අතර, ස්ථාවර නියෝග, සෘජු ගිණුම් හරකිරීම්, නැවත නැවත සිදුවන ගෙවීම්, වාරික ගෙවීමේ ක්‍රමවේද සහ අනෙකුත් එදිනෙදා බැංකු කටයුතු පෙර පරිදිම පවත්වාගෙන යා හැක. බැංකුවක් මාරු කිරීමේදී ගනුදෙනුකරුවන් මුහුණ දෙන ප්‍රධානතම අපහසුතාවක් මඟහරවමින්, ඔවුන් මීට පෙර සුරැකි ගෙවීම් ලබන්නන්ගේ (Saved Payees And Beneficiaries) තොරතුරු ද අපගේ ඩිජිටල් බැංකුකරණ වේදිකාවන් වෙත මාරු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd