• DFCC බැංකුව විසිනි

ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසර පද්ධතිය තුළ අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරන සත්ව විශේෂයක් ලෙස ශ්‍රී ලංකාවේ දිවියා හැඳින්විය හැකිය. මෙරට පරිසර දාමයේ ඉහළම විලෝපිකයා ලෙස, පාරිසරික සමතුලිත පවත්වාගෙන යාම, සමතුලිත වනාන්තර පද්ධතියකට සහාය වීම මෙන්ම, ජෛව විවිධත්වය සහ සම්පත් සුරක්‍ෂිතතාව කෙරෙහි බලපාන ස්වභාවික ක්‍රියාවලි ආරක්ෂා කිරීමෙහිලා දිවියා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
පරිසර පද්ධතියක සෞඛ්‍යය සහ ස්ථාවරත්වය පිළිබිඹු කරන ප්‍රධාන සත්ව විශේෂයක් ලෙස දිවියා සැලකේ. වාසස්ථාන අඩුවීම, කණ්ඩනය වීම හෝ විනාශ වීම සිදුවන විට දිවියන්ගේ සංචරණයන් සීමා වන අතර, බොහෝවිට මෙම සතුන් මිනිස් ක්‍රියාකාරකම් බහුල ප්‍රදේශවලට තල්ලු‍ වේ. දිවියන්ගේ ගහනය අඩුවීම හෝ ගැටුම්කාරී අවස්ථාවල වර්ධනයක් පෙන්නුම් කිරීම යනු, ස්වභාවික පරිසරය පීඩනයට ලක්ව ඇති බවත්, අත්‍යවශ්‍ය පාරිසරික පද්ධති පිරිහීමට පටන් ගෙන ඇති බවත් පෙන්වන පැහැදිලි දර්ශකයකි.
ශ්‍රී ලංකාව පුරා සාධක කිහිපයක් දිවි වාසස්ථානවලට සහ පුළුල් පාරිසරික අඛණ්ඩතාවට තර්ජනයක් වී ඇත. අක්‍රමවත් සංවර්ධනය හේතුවෙන් වන තීරු අහිමි වීම, දඩමස් සඳහා අටවන නමුත් දිවියන් ඇතුළු අනෙකුත් වනජීවීන්ට ද මාරාන්තික වන උගුල් භාවිතය, වේගවත්ව සිදුවන ඉඩම් එළිපෙහෙළි කිරීම සහ වර්ධනය වන මානව ආක්‍රමණ මේ අතර ප්‍රධාන වේ. මෙම සෑම තර්ජනයක්ම වාසස්ථාන විනාශ වීමට බලපාන අතර, ජල සුරක්ෂිතතාව, පාංශු ස්ථාවරත්වය, ජෛව විවිධත්වය සංරක්ෂණය සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව සඳහා අත්‍යවශ්‍ය පාරිසරික ජාල දුර්වල කරයි.
ජාතික සංවර්ධනය සහ පාරිසරික ආරක්ෂණය එකිනෙක හා බැඳී ඉදිරියට යා යුතු බව DFCC බැංකුවේ විශ්වාසයයි. එම නිසා මෙරට දිවියන් ආරක්‍ෂණය සඳහා වූ ජාතික ප්‍රවේශය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇති, පර්යේෂණ පදනම් කරගත් පිළිගත් සංරක්ෂණ සංවිධානයක් වන වනජීවී හා වන සංරක්ෂණ භාරය (WWCT) සමඟ DFCC බැංකුව සුවිශේෂී හවුල්කාරීත්වයක් ඇති කරගෙන ඇත.
DFCC බැංකුව පහත සඳහන් දෑ ඇතුළු මුලපිරීම් රැසකට සහාය දක්වයි.
දිවියාගේ පාරිසරික වැදගත්කම පිළිබඳව ජාතික මට්ටමින් දැනුවත් කිරීම.
මානව වනජීවී ගැටුම් අවම කිරීම සඳහා ප්‍රජා මූලික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
උගුල් අටවීම සහ තිරසාර නොවන ඉඩම් එළි පෙහෙළි කිරීම වැනි හානිකර ක්‍රියාවන් සඳහා විකල්ප/ විසඳුම් හඳුන්වා දීම.
වාසස්ථාන විනාශ වීම සහ වනජීවී සංචරණ මාර්ග පිළිබඳ පර්යේෂණ කටයුතු ශක්තිමන් කිරීම සහ විධිමත් කිරීම.
මෙම ප්‍රයත්න හරහා තනි ජීවී විශේෂයක් ආරක්ෂා කිරීම පමණක් නොව, ඉන් එහාට කෙරෙන මානව යහ පැවැත්ම සහ දිගු කාලීන ජාතික තිරසාර භාවයට සහාය වන පුළුල් පාරිසරික පද්ධති ආරක්ෂා කිරීමට මෙම ක්‍රියාවලිය හරහා සැලසුම් කෙරේ.
දිවියන්ගේ ගහනය, රටේ ස්වභාවික භූ දර්ශනයේ අනාගතය සමඟ සෘජුවම සම්බන්ධ වී ඇත. වාසස්ථාන ආරක්ෂා කිරීමෙන් ශ්‍රී ලංකාව සිය ජල මූලාශ්‍ර පාංශු සංරක්ෂණය, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව සහ ජෛව විවිධත්වය ආරක්ෂා කරයි. පාරිසරික සමතුලිතතාව තිරසාර සංවර්ධනය සඳහා මූලික වන බව හඳුනා ගනිමින් ජාතික සංරක්ෂණ ප්‍රයත්න සඳහා සහාය වීමට DFCC බැංකුව කැපවී සිටී.
දිවියන් සංරක්ෂණය ආරම්භ වන්නේ දැනුවත් භාවයෙනි. වනසත්ව සහ වනජීවී සංරක්ෂණ භාරය (WWCT) සමඟ අත්වැල් බැඳගනිමින්, DFCC බැංකුව දිවියන් ආරක්ෂා කිරීම සම්බන්ධ පණිවිඩය ප්‍රජාව කරා සමීප කර ඇත්තේ, දිවයින පුරාම ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් පැවැත්වෙන පාපැදි සවාරී මාලාවක් මගිනි. ඒ අනුව, කොළඹ, මහනුවර, තිස්සමහාරාම සහ හපුතලේ යන ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීම සඳහා එම ප්‍රදේශ කේන්ද්‍ර කර ගත් පාපැදි සවාරි, පසුගිය දිනවල පැවැත්විණි. අපගේ ගනුදෙනුකරුවන්, කාර්ය මණ්ඩලය සහ වන සත්ව සංරක්ෂණ ක්‍රියාකාරිකයන් එකම ප්‍රදේශයකට ඒකරාශී කරමින් පැවැත්වෙන මෙම පාපැදි සවාරි මාලාව, ශ්‍රී ලංකාවේ දිවියා සහ ඔවුන්ගේ ස්වාභාවික වාස භූමි ආරක්ෂා කිරීම පිළිබඳ අර්ථවත් සංවාදයක් සමාජය තුළ ගොඩනැගීමට ඉවහල් වේ.