2021 වසරේ සිට 2026 දක්වා කාලය තුළ දුම්වැටි සිල්ලර මිල සඳහා වන බදු පංගුව සාමාන්‍යයක් ලෙස සියයට 7.2 කින් පමණ පහත වැටී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. ඒ අනුව මේ හේතුවෙන් වසරකට රජයට රුපියල් බිලියන 17.3 ක පමණ බදු අහිමිවීමක් සිදුවන බවත් එම ආයතනය පෙන්වා දෙයි. 
වි‍ශේෂයෙන්ම ගතවූ කාලසීමාවේදී අනෙකුත් එකතු කළ අගය මත බදු (VAT) ඇතුළත් වන පාරිභෝගික භාණ්ඩවල මෙම බදු අය කරගැනීම් සියයට 7.8 කින් ඉහළ ගොස් තිබෙන බවත් වෙරිටේ රිසර්ච් සඳහන් කරයි. 
“දුම්වැටි සඳහා වන බදු අය කෙරෙන්නේ එක් තනි දුම්වැටියක් සඳහා ක්‍රියාත්මක වන ස්ථිර රුපියල් වටිනාකමක් ගන්නා සුරාබදු අය කර ගැනීමක් ලෙසයි. මෙය VAT බදු මෙන් භාණ්ඩයේ මිල ඉහළ යද්දී ඊට ගැලපෙන ලෙස ඉහළ යන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදියට මේ සුරා බදු නිරන්තරයෙන් සැකසීමක් සිදු නොකිරීම සහ දුම්වැටි නිෂ්පාදකයන් මිල ඉහළ නැංවීමක් සිදුකිරීම් හරහා මේ දුම්වැටි සඳහා වන සිල්ලර මිලෙහි බදු පංගුව අඩු වෙනවා.”

විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පවා දුම්වැටියක බදු පංගුව එහි සිල්ලර මිලෙන් අවම වශයෙන් සියයට 75ක්වත් විය යුතු බව සඳහන්ව තිබේ. 2018 වසරේදී ශ්‍රී ලංකාව මෙම අගය වෙත ළගා වුවත්, ඉන් පසුව ගත වූ කාලයේදී එය සියයට 7.4 කින් පමණ අඩු වී, 2026 වන විට සියයට 66.8 ක් දක්වා පහත වැටී තිබේ. “මෙම බදු පංගුව ඒ අයුරින් පවත්වාගෙන යාමට හැකියාව ලැබුණොත්, දුම්වැටියක සිල්ලර මිල වෙනස් නොකරම රජය වෙත තවත් අමතර රුපියල් බිලියන 17.3ක වාර්ෂික ආදායමක් රැස් කරගන්නට හැකි වෙනවා.”
ඒ අනුව මෙම බදු මුදල ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහා වෙන් කර තිබෙන මුදල මෙන් 1.2 ක ගුණයක් බවත්, පෝෂණය සඳහා වෙන් කර තිබෙන මුදල මෙන් 1.3 ක ගුණයක් බවත් සඳහන් වෙයි. එසේම මෙම අගය ආනයනික ආහාර සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන් සියයට 10කට සමාන බවත් වෙරිටේ රිසර්ච් වැඩිදුරටත් පවසයි.