• ඉන් රු. මි. 650ක් රක්ෂණ වන්දි ලෙස නැවත ලැබිලා 
  • කාර්ගිල්ස් අලෙවි සල් 60ක් KFC ආපනශාලා 18ක් බලපෑමට ලක්වෙලා 

2025 වසරේ නොවැම්බර් මාසය අවසානයේදී මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදාව නිසා කාර්ගිල්ස් සමූහයේ වත්කම්, භාණ්ඩ තොග සහ යටිතලපහසුකම් වෙත සිදු වූ හානියේ වටිනාකම රුපියල් මිලියන 858ක් වන බව පවසයි. 

කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේ වාර්ෂික වාර්තාව වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් එහි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ඉමිතියාස් අබ්දුල් වහිඩ් මහතා මෙම කරුණු සඳහන් කර තිබේ. 

ඒ අනුව සිදු වූ මෙම හානි අතරින් රුපියල් මිලියන 650කට ආසන්න වටිනාකමක් රක්ෂණය හරහා නැවත හිමි කරගැනීමට 2025/26 මූල්‍ය වර්ෂයේදී හැකියාව ලැබුණු බවත්, ඉතිරි මුදල 2026/27 මූල්‍ය වර්ෂයේදී හිමි කරගැනීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කරයි. 

මෙම දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් කාර්ගිල්ස් ෆුඩ්සිටි අලෙවි සල් 60 කට හානි සිදු ව ඇති අතර, ඉන් අලෙවිසල් 15-20ත් අතර සංඛ්‍යාවකට දරුණු ගංවතුර තත්ත්ව බලපා තිබේ. එසේම KFC  ආපනශාලා 18ක්ද මෙහිදී බලපෑමට ලක්ව ඇත. 

මීට අමතරව ගංවතුර හේතුවෙන් කැලණිමුල්ලේ පිහිටි කිරි නිෂ්පාදන කර්මාන්තශාලාවේ, ජා ඇල පිහිටි මස් නිෂ්පාදන පරිශ්‍රයේ මෙන්ම නකල්ස් පානීය ජල බෝතල්කරණ පරිශ්‍රයේ මෙහෙයුම් ද තාවකාලිකව නවතාදැමීමට හෝ නිෂ්පාදන බාධා එල්ලවීමක් සිදු වූ බවත් එම සමාගම වැඩිදුරටත් පවසයි.