කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


දකුණු පළාතේ කුඩා තේවතු හිමියන්ට ගුණාත්මක සේවාවක් ලබාදීමේ අරමුණින් ගාලු‍ දිසාවේ වලහන්දූව ග්‍රාමයේ ස්ථාපිත කෙරුණු දකුණු පළාත් ඩිජිටල් සම්පත් තේ මධ්‍යස්ථානය කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරු ඉන්දික මොහොට්ටි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
මේ අවස්ථාවට කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සහකාර ප්‍රාදේශීය කළමනාකරු නන්දන විජේසිංහ, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ගාල්ල සහකාර තේ කොමසාරිස් එල්.කේ. අජිත්, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ කොට්ටව ස්ථාන භාර නිලධාරී ප්‍රදීප් අල්විස් යන මහත්වරු සහ කුඩා තේ වතු හිමියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
දකුණු පළාත් මේ ඩිජිටල් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් දකුණු පළාතේ වැඩිවශයෙන්ම කුඩා තේ වතු වගාව ව්‍යාප්ත දිස්ත්‍රික්ක දෙක වන ගාල්ල සහ මාතර දිසාවල කුඩා තේ වතු හිමියන් සඳහා පුනර්ජනනීය කෘෂිකර්මාන්තය, තේ වගාවේ නව තාක්ෂණය සහ ඒ සඳහාවූ දැනුම ප්‍රචලිත කිරීමත් සිදු කෙරේ. තවද තේ වගාවෙන් ඈත් වී ඇති තරුණ කොටස් නැවතත් තේ වගාව සඳහා ආකර්ෂණය කර ගැනීමද මේ නව මධ්‍යස්ථානය විවෘත කිරීමේ ප්‍රධාන අරමුණු අතර පවතී.
  දකුණේ කුඩා තේවතු හිමියන්ට සේවාව සැපයීමේ අරමුණින් ගාල්ල වලහන්දූවේදී විවෘත කෙරුණු මේ නව ඩිජිටල් සම්පත් තේ මධ්‍යස්ථානය සඳහා තේ වගාවට අතහිත සපයන ආයතන දෙකක් වන solidaridad සහ nucleus foundation ආයතනය දෙක මූල්‍ය අනුගාහය දක්වා තිබේ.