සිදුවීම් පිළිබඳ වගකීම බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සතුයි 


රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකු සිදුකළ ගනුදෙනු සම්බන්ධයෙන් ආසන්න කාලසීමාවේදී විවිධ සිදුවීම් වාර්තා වුවද, මේ වනවිට බැංකු පද්ධතිය ස්ථාවරව පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

“මේ සිදුවීම් නිසා බැංකු පද්ධතියේ ස්ථායිතාවට, ප්‍රාග්ධන ද්‍රවශීලතාවට හෝ ලාබදායීතාවට කිසිම බලපෑමක් වෙලා නෑ කියලා මහ බැංකුව විදියට අපිට සහතිකයක් දෙන්න පුළුවන්. උදාහරණයක් විදියට NDB බැංකුවේ සිදු වූ රුපියල් බිලියන 13.2 ක මූල්‍ය වංචාවෙන් බලපෑම එල්ල වෙන්නේ එම බැංකුවේ ලාබය වෙත පමණයි. ඉන් බැංකුවේ තැන්පතුවලට හෝ තැන්පත්කරුවන්ට හෝ බලපෑමක් එල්ල වී නෑ. එහි බලපෑම තිබෙන්නේ බැංකුවේ කොටස් හිමිකරුවන්ට සහ ඔවුන්ගේ ලාබය වෙතයි.” 

බැංකුවල සිදුවන මෙම වැරදි නොසලකා හැරීම්, අත්වැරදීම් හෝ සිතාමතා සිදුකරන වංචා නිසා සිදුවිය හැකි බවද, ඒ පිළිබඳ වගකීම බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සතු බවද අධිපතිවරයා සඳහන් කළේය.

අදහස් දැක්වූ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වන කේ. ජී. පී. සිරිකුමාර මහතා, “ලංකාවේ බැංකු ක්ෂේත්‍රය ගත්තොත් වත්කම් රුපියල් ට්‍රිලියන 25ක් 26ක් පවතිනවා. ට්‍රිලියන 20කට අධික තැන්පතු, ට්‍රිලියන 14ක ණය සංසරණය වන ආයතන. මෙවැනි ආයතන යම් ප්‍රමාණයක වංචාවකට, වැරදීමකට ඉඩක් තියෙන්න පුළුවන්. එය හරියි කියලා අපි කියන්නේ නෑ. එහෙත් එවැනි සිදුවීම් අඩු කරගත යුතුයි.”