
ශ්‍රී ලංකාවේ ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති කිෂි ටකාෂි
ආයෝජක විශ්වාසය ගොඩනැගෙන්නේ හුදු සංවාදයෙන් පමණක් නොව, මතුවන ගැටලුවලට නියමිත වේලාවට කඩිනම් විසඳුම් ලබාදීමෙන්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන ජපාන ආයෝජකයන්ට මෙරට ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ලබා දෙන සහයෝගය සහ සේවය ඉහළින්ම අගය කරන බව ශ්‍රී ලංකාවේ ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (JCCI-SL) සභාපති කිෂි ටකාෂි (Mr. Kishi Takashi) මහතා පවසයි.
ආයෝජක විශ්වාසය ගොඩනැගෙන්නේ හුදු සංවාදයෙන් පමණක් නොව, මතුවන ගැටලුවලට නියමිත වේලාවට කඩිනම් විසඳුම් ලබා දීමෙන් බවත්, ශ්‍රී ලංකාව තුළ වත්මන් ක්‍රියාවලිය සතුටුදායක මට්ටමක පවතින බවත් ඒ මහතා පෙන්වා දෙයි. එසේම දශක ගණනාවක සිට දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය, ව්‍යාපාර තවදුරටත් සාර්ථකව පවත්වාගෙන යාමට විශාල පිටුවහලක් වී ඇති බව ද ටකාෂි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විවිධ රටවල ආයෝජකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පවත්වනු ලබන නිල සාකච්ඡා මාලාවට සමගාමීව, ජපන් ආයෝජකයන් වෙනුවෙන් මෙවර කාර්තුව සඳහා පැවැත්වුණු විශේෂ සැසිවාරයට එක්වෙමින් ටකාෂි මහතා මෙම අදහස් පළ කළේය.
මෙම ක්‍රියාකාරී මට්ටමේ සැසිවාර පැවැත්වීම, ශ්‍රී ලංකා රජය සහ දිවයින තුළ ක්‍රියාත්මක වන ජපන් ව්‍යාපාරික ප්‍රජාව අතර අදහස් හුවමාරු කර ගන්නා වැදගත් වේදිකාවක් ලෙස ක්‍රියා කරයි. මෙහිදී ආයෝජකයන් මුහුණ දෙන අභියෝග හා ගැටලු පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරෙන අතර, මීට පෙර මතු කරන ලද කරුණුවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ආයෝජන වාතාවරණය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් හඳුනා ගැනීම ද සිදු කෙරේ.
ජපාන-ශ්‍රී ලංකා ව්‍යාපාරික පරිසරය පිළිබඳ කමිටුවේ සිවුවැනි ක්‍රියාකාරී මට්ටමේ රැස්වීම පසුගියදා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණි.
මෙම සැසිය සඳහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය, ජපන් විදේශ වෙළෙඳ සංවිධානය (JETRO), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ශ්‍රී ලංකාවේ ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (JCCI-SL) නියෝජිතයන් මෙන්ම මෙරට ජපන් ආයෝජකයන් සහ උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
මෙහිදී අදහස් දැක්වූ BOI වැඩබලන සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා දකුණු සහ ගිනිකොනදිග ආසියානු කලාපයේ තරගකාරී ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සතු අභිලාෂ තවදුරටත් අවධාරණය කළේය. ජපන් ව්‍යාපාරික ප්‍රජාව සමග පවත්වන නිරන්තර හා අවංක සම්බන්ධතාව හුදු රාජ්‍ය තාන්ත්‍රික ආචාරශීලිත්වයක් නොව, එය උපායමාර්ගික අවශ්‍යතාවක් බවත්, ආයෝජකයන් මුහුණ දෙන ගැටලු කඩිනමින් විසඳීම, උසස් තත්වයේ විදේශීය ඍජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සහ රඳවා ගැනීම පිළිබඳ මණ්ඩලයේ පුළුල් අරමුණු බව ඔහු අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd