කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ


දකුණු පළාතට ලෝකය වටෙන්ම වැඩි වැඩියෙන් විදෙස් සංචාරකයන් ගෙන්වා ගැනීමේ අරමුණින් දකුණු පළාතේ ගාල්ල, මාතර දෙදිසාව සමග සබරගමුව පළාතේ රත්නපුර දිසාව යාකරමින් සදාහරිත මිහිදුම් සංචාරක කලාපයක් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. 

මේ අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද යන මහත්වරු සහභාගීවූහ.

දකුණු ලකේ උරුමය සුරකිමු සංචාරකත්වය ප්‍රවර්ධනය කරමු දකුණු ලකට ආවේණික සන්නාමකරණ ගොඩ නගමු යන්න මේ නවමු සංචාරක ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණවී තිබිණ. දකුණු ලකේ ඉතිහාසය, සංස්කෘතිය, උරුමය සහ සත්කාරශීලීත්වයෙන් සපිරි ලංකාවේ දකුණු පළාත ලෝක සංචාරක සිතියමේ තවත් ශක්තිමත් ගමනාන්තයක් ලෙස ඉදිරියට ගමන් කරවීම සඳහා මේ නවමු සංචාරක වැඩසටහන ආරම්භ කිරීමට පියවර ගත් බව මෙහි ප්‍රධාන සංවිධායකයන්වූ රුහුණු සංචාරක කාර්යාංශය කීය.

මෙහිදී රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මහතා මේ උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේ දකුණු ලකේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට මාතර දිසාවේ පිටබැද්දර, දෙණියාය, සහ ගාලු‍ දිසාවේ නෙළුව හා තවලම ආශ්‍රිතව මේ වනවිටත් සිය කාර්යාංශය සංවර්ධන ව්‍යාපෘති රාශියක් කර ඇති බවය. එමෙන්ම ඉදිරියටත් එවැනි සංවර්ධන ව්‍යාපෘති කිරීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් විශේෂ​ෙයන් සංචාරකයන් දකුණු පළාතට අද්දවා ගැනීමට විශේෂ ව්‍යාපෘති මෙලෙසින් සිදු කරගෙන යන බවත්ය.

මෙම කලාපයේ වූ පොදු ලක්ෂණ නිසාත් විධිමත් සංවර්ධනයක් ඔස්සේ සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව රුහුණු සංචාරක කාර්යාංශය විසින් හඳුනාගෙන තිබෙන බවද මෙහිදී ජයාන් ගොඩකන්ද මහතා කීවේය.

සංචාරක ව්‍යාපාරය හා බැදුණු සියලු‍ම රාජ්‍ය ආයතන සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් රුහුණු සංචාරක කාර්යාංශය හඳුන්වා දී ඇති (Fort to Forest Heritage Trail) ගාල්ල කොටුවෙන් ආරම්භ වී සිංහරාජ වනාන්තරයෙන් අවසන් වන අතර මෙය මෙම නව කලාපය සන්නාමකරණය වෙනු​ෙවන් යොදා ගත හැකි හොඳම හා ප්‍රායෝගිකම වැඩසටගනක් බව ඒ පිළිබඳව තතු දත් අය කියති.

මේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංක යූ ගමගේ ,නිශාන්ත පෙරේරා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල්, රුහුණු සංචාරක කාර්යාංශයේ උප සභාපති රවී ජයවර්ධන, කළමනාකාර අධ්‍යක්ෂ එම්.ඒ.කේ.එන් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු කාර්යාංශයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන්, පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.