• නව මහල් නිවාස මිල දර්ශකයේ සියයට 18.5ක ඉහළ යාමක් අලෙවි පරිමා දර්ශකයේ සියයට 
  • 15.2ක පහළ යාමක් 2026 පළමු කාර්තුවේ සියයට 65ක වැඩිම මහල් නිවාස අලෙවිය කොළඹින් 
  • මධ්‍යම මට්ටමේ නිවාස ඉල්ලු‍ම අඩු වී, සුඛෝපභෝගී නිවාස ඉල්ලු‍ම ඉහළට විදේශිකයන් දේපළ මිලදී ගැනීමේ අඩුවීමක්

භානුක අමරසිංහ 


2026 වසරේ පළමු කාර්තුවේදී කොළඹ දිස්ත්‍රික්කයේ නව මහල් නිවාස සහාධිපත්‍ය හෙවත් කොන්ඩොමිනියම් (Condominiums) මිල දර්ශකයේ කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කරන බවත්, ඊට සාපේක්ෂව කොළඹ ඇතුළුව ප්‍රධාන නගරවල මහල් නිවාස අලෙවි පරිමාවේ අඩුවීමක් පෙන්නුම් කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව මගින් එම කාර්තුව සඳහා නිකුත් කෙරුණු නව සහාධිපත්‍ය මිල දර්ශකයේ (New Condominium Price Index) මෙම කරුණු ඇතුළත්ව තිබේ. 

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ නව මහල් නිවාස මිල දර්ශකය 2026 පළමු කාර්තුවේදී 284.4 දක්වා ඉහළ ගිය අතර, එය වසරින් වසර සියයට 18.5ක ඉහළ යාමකි.

කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කය සහ අනෙකුත් ප්‍රධාන නගර ආවරණය වන පරිදි ගණනය කෙරෙන මහල් නිවාස දේපළ අලෙවි පරිමා දර්ශකය 218.8 ක් ලෙස සටහන්ව ඇති අතර එය වසරින් වසර සියයට 15.2ක පහළ යාමකි. 

මෙම වාර්තාවට අනුව 2026 පළමු කාර්තුව තුළ, මහල් නිවාස අලෙවියෙන් ඉහළම කොටස වන සියයට 65ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඉතිරියෙන් බහුතරය එනම් සියයට 32ක් ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ. 

විශේෂයෙන්ම 2026 පළමු කාර්තුවේදී මධ්‍යම මට්ටමේ නිවාසවලට තිබූ ඉල්ලු‍ම අඩු වී, සුඛෝපභෝගී නිවාස ඉල්ලු‍ම ඉහළ ගොස් ඇති බව වාර්තාවේ සඳහන්ව තිබේ.

ඒ අනුව රු. මිලියන 25 - 50 අතර පවතින මධ්‍යම මට්ටමේ නිවාස අලෙවි පසුගිය වසරේ පළමු කාර්තුවේදී වාර්තා කළ සියයට 49ක අලෙවියට සාපේක්ෂව මේ වසරේදී සියයට 29ක් දක්වා පහත වැටී තිබේ.

කෙසේ වෙතත් රු. මිලියන 50 - 75 සහ රු. මිලියන 75 ට වැඩි සුඛෝපභෝගී නිවාස විකුණුම්වල සුළු වර්ධනයක් සටහන්ව තිබේ. ඒ අතරින් රු. මිලියන 75 ට වැඩි මහල් නිවාස අලෙවි ප්‍රතිශතය පසුගිය වසරේ පළමු කාර්තුවේ පැවති සියයට 11 ක සිට සියයට 29 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ව්‍යාපෘති නිම කිරීමේ තත්වය සම්බන්ධයෙන් විමසීමේදී සම්පූර්ණ කරන ලද නිවාස ව්‍යාපෘතිවලින් සියයට 98ක් අලෙවි වී ඇති අතර, මිලදී ගැනීම සඳහා ඉතිරිව පවතින්නේ සියයට 2කි. එසේම දැනට ඉදි කරමින් පවතින ව්‍යාපෘති ඒකකවලින් සියයට 51 ක් වෙන් කරගෙන ඇති අතර, සියයට 49ක් වෙන්කර ගැනීම සඳහා අවස්ථාව පවතී.

මෙහිදී 2026 පළමු කාර්තුව තුළ අදාළ මහල් නිවාස මිලදී ගැනීම සඳහා මූලික අරමුදල් මූලාශ්‍ර ලෙස පෙර අලෙවි තැන්පතු, බැංකු ණය සහ කොටස් හඳුනාගෙන තිබේ.

මේ අතරින් බොහෝ මහල් නිවාස මිලදී ගැනීම් ශ්‍රී ලාංකික පදිංචිකරුවන් විසින් සිදුකර ඇති අතර, ප්‍රධාන වශයෙන් ක්ෂණික පදිංචිය අරමුණ වී තිබේ. මෙහිදී ඔවුන්ගේම අරමුදල් භාවිත කරමින් මෙම නිවාස සඳහා මුදල් ගෙවීමක් කර ඇතැයිද මහ බැංකුව වැඩිදුරටත් පවසයි. 

මේ අතර ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ගේ දේපළ මිලදී ගැනීම් පසුගිය වසරට සාපේක්ෂව සමාන අගයක පවතින අතර, විදේශිකයන්ගේ මිලදී ගැනීම් අඩුවීමක් පෙන්නුම් කර තිබේ.