දකුණු කොරියාවේ ආර්ථික ඉතිහාසය යනු යුද්ධයෙන් විනාශ වූ, ඉතා අඩු ආදායම් මට්ටමක පැවති රටක් කෙටි දශක කිහිපයකින් ලෝකයේ ප්‍රමුඛ ආර්ථික බලවතෙකු බවට පරිවර්තනය වූ සුවිශේෂී උදාහරණයකි. 1950-1953 කොරියානු යුද්ධයෙන් පසු රට දැඩි විනාශයකට පත් වූ අතර, දිගු කාලයක් ජාත්‍යන්තර ආධාර මත රඳා පැවතිණි. එම කාලයේ ඒක පුද්ගල ආදායම ඉතා පහළ මට්ටමක පැවති අතර, ආර්ථිකය බිඳවැටී තිබුණි. එහෙත් 1960 දශකයේ සිට රජය විසින් ක්‍රියාත්මක කරන ලද සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ, විශේෂයෙන් අපනයන කේන්ද්‍රිත කාර්මික ප්‍රතිපත්ති, ආර්ථික වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් සකස් කළේය. 
1970,1980 දශකවලදී බර හා රසායනික කර්මාන්ත  (HCI)  සහ තාක්ෂණික නිෂ්පාදන ක්‍රමානුකූලව ප්‍රවර්ධනය කිරීමෙන් දකුණු කොරියාව ශ්‍රම කේන්ද්‍රිත ආර්ථිකයකින් ඉහළ වටිනාකමක් ඇති කාර්මික ආර්ථිකයකට පරිවර්තනය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඒක පුද්ගල ආදායම වේගයෙන් ඉහළ ගොස් 1990 දශකය වන විට කොරියාව ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවර්ධිත සංවිධානවලටද එක් විය. ඉන්පසු ඇතිවූ ආසියානු සහ ගෝලීය මූල්‍ය අර්බුදවලට මුහුණ දුන්නද, දකුණු කොරියාව ශක්තිමත් ආර්ථික ව්‍යුහය හේතුවෙන් ඉක්මනින් යථා තත්වයට පත්වී දිගුකාලීන වර්ධන ගමන අඛණ්ඩව පවත්වා ගත්තේය. 
2020 දශකය වන විට දකුණු කොරියාව අර්ධ සන්නායක, මෝටර් රථ, නැව් තැනීම සහ පෙට්‍රෝරසායනික වැනි ඉහළ තාක්ෂණික කර්මාන්ත මත පදනම් වූ දැනුම් ආර්ථිකයක් බවට පත්ව ඇත. ඒක පුද්ගල ආදායම ඩොලර් 30,000 ඉක්මවා යමින් එරට ජපානය, ඉතාලිය වැනි දියුණු රටවල් සමග සමාන මට්ටමකට පැමිණ ඇත. උතුරු කොරියාව සමග ඇති දැඩි ආර්ථික වෙනස මෙම පරිවර්තනයේ වැදගත්කම තවත් පැහැදිලි කරයි. මෙම අත්දැකීමෙන් පෙනී යන්නේ දිගුකාලීන ආර්ථික සාර්ථකත්වය භූගෝලීය හෝ ස්වාභාවික සාධකවලට වඩා ආයතන, ප්‍රතිපත්ති සහ උපාය මාර්ගික සංවර්ධන සැලසුම් මත රඳා පවතින බවයි.


දකුණු කොරියාවේ කාර්මික පරිණාමයේ ව්‍යුහාත්මක සැලැස්ම
දකුණු කොරියාවේ කාර්මික පරිණාමය අඩු අගය එකතු කළ ප්‍රාථමික භාණ්ඩ අපනයනයෙන් ආරම්භ වී, අද වන විට ඉහළ තාක්ෂණික සහ දැනුම් පදනම් වූ ආර්ථිකයක් දක්වා ක්‍රමානුකූලව ඉහළ ගිය දිගුකාලීන ව්‍යුහාත්මක පරිවර්තනයක් ලෙස සැලකිය හැක. 1960 දශකයේදී එරට අපනයන යකඩ, ටංස්ටන්, අමු සේද සහ ධීවර නිෂ්පාදන වැනි ස්වාභාවික සම්පත් මත රඳා පැවති අතර, එම අවධියේ ආර්ථිකය ඉතා සීමිත කාර්මික වටිනාකමක් සහිත විය. 1970 දශකයේදී රජය විසින් ක්‍රියාත්මක කරන ලද අපනයන කේන්ද්‍රිත කාර්මික ප්‍රතිපත්ති හේතුවෙන් රට ශ්‍රම කේන්ද්‍රිත නිෂ්පාදන ආර්ථිකයකට මාරු විය. මෙහිදී රෙදිපිළි, ඇඟලු‍ම්, ප්ලයිවුඩ් සහ wigs වැනි අඩු වියදම් නිෂ්පාදන ප්‍රධාන අපනයන භාණ්ඩ බවට පත්වූ අතර, එමගින් රටට විදේශ විනිමය උපයා ගැනීමට පළමු ශක්තිමත් පදනම ලැබුණි. මෙය කාර්මික ඉගෙනුම් අවධියක් ලෙසද හැඳින්විය හැකිය.
1980 දශකය වන විට දකුණු කොරියාව බර කර්මාන්ත සහ තාක්ෂණික නිෂ්පාදන වෙත වේගයෙන් පරිවර්තනය විය. වානේ නිෂ්පාදන, නැව් තැනීම, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ මෝටර් රථ කර්මාන්ත වැනි අංශ ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ අතර, මෙය රටේ කාර්මික ව්‍යුහය ශ්‍රම කේන්ද්‍රිතයෙන් ප්‍රාග්ධන සහ තාක්ෂණ කේන්ද්‍රිත ආර්ථිකයකට මාරුවූ තීරණාත්මක අවධියක් විය. 1990 දශකය තුළ මෙම පරිවර්තනය තවදුරටත් ගැඹුරු විය. ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ප්‍රධාන අපනයන අංශය බවට පත්වූ අතර, මෝටර් රථ, රසායනික සහ වානේ කර්මාන්ත සමග එක්ව දකුණු කොරියාව තාක්ෂණ මත පදනම් වූ කාර්මික බලවතෙකු ලෙස ස්ථාපිත විය. මෙම අවධිය ගෝලීය සැපයුම් දාමවල  (Global value chains) සක්‍රීය සහභාගී රටක් බවට පත්වූ කාලය ලෙසද සැලකිය හැකිය. 2020 දශකය වන විට දකුණු කොරියාව ඉතා උසස් දැනුම් පදනම් වූ ආර්ථිකයක් බවට පත්ව ඇත. අර්ධ සන්නායක, මෝටර් රථ, නැව් තැනීම සහ පෙට්‍රෝරසායනික කර්මාන්ත එහි ප්‍රධාන අපනයන ධාවකයන් වන අතර, ඉහළ තාක්ෂණය, පර් යේෂණ සහ නවෝත්පාදනය (innovation) ආර්ථික වර්ධනයේ මූලික බලවේග බවට පත්ව ඇත.
මෙම දිගුකාලීන පරිණාමයෙන් පැහැදිලි වන්නේ ආර්ථික සාර්ථකත්වය ස්වාභාවික සම්පත් මත නොව, අඛණ්ඩව අඩු වටිනාකමකින් ඉහළ වටිනාකමක් ඇති කාර්මික ක්ෂේත්‍ර වෙත මාරුවීම, මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම සහ තාක්ෂණික නවෝත්පාදනය මත පදනම් වන බවයි.


අපනයන කේන්ද්‍ර කරගත් කාර්මික ප්‍රතිපත්තිය අනුගමනය කිරීම
දකුණු කොරියාවේ ආර්ථික සංවර්ධන ආකෘතිය ලෝක ආර්ථික ඉතිහාසයේ සාර්ථකම කාර්මික පරිවර්තන උදාහරණයක් ලෙස සැලකේ. ස්වාභාවික සම්පත් අඩු රටක් වුවද, එය “අමුද්‍රව්‍ය ආනයනය-සැකසීම-අපනයනය” යන අපනයන මූලික කාර්මික උපාය මාර්ගයක්  (export-oriented industrial policy)  මත පදනම්ව වේගවත් වර්ධනයක් ලබා ගත්තේය. 1960 දශකයේදී ආරම්භ වූ ප්‍රතිසංස්කරණ මගින් ආනයන ලිබරලීකරණය සහ විදේශ විනිමය පද්ධතිය සරල කිරීම සිදු කර, අපනයන නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගැනීමට හැකි විය. මේ සමග, අපනයන කාර්ය සාධනය මත පදනම් වූ ණය සහ ආධාර ලබාදීමේ ක්‍රමයක් හඳුන්වාදීම නිසා පෞද්ගලික ව්‍යාපාරික ක්ෂේත්‍රය වේගයෙන් පුළුල් විය. මෙම ආර්ථික පරිවර්තනයට යටිතල පහසුකම් හා විශාල ප්‍රාග්ධන ආයෝජන තීරණාත්මක වශයෙන් බලපෑවේය. 1965 දී ජපානය සමග සබඳතා සාමාන්‍යකරණය වීමෙන් ලැබුණු විදේශ මුදල් භාවිත කර වානේ කර්මාන්තය වැනි මූලික කර්මාන්ත, විශේෂයෙන් POSCO වැනි ව්‍යාපෘති, සහ ප්‍රධාන ප්‍රවාහන ජාල සංවර්ධනය කරන ලදී. මෙවැනි ආයෝජන මගින් නිෂ්පාදන පිරිවැය අඩුවී, අභ්‍යන්තර ලොජිස්ටික්ස් කාර්යක්ෂමතාව වැඩිවී, අපනයන තරගකාරිත්වය ඉහළ ගියේය. ඒ අනුව ආර්ථිකයේ නිෂ්පාදන පදනම ශක්තිමත් කරමින් ඉහළ වටිනාකමක් ඇති කර්මාන්ත සඳහා මාර්ගය විවෘත විය.
රාජ්‍ය පාලන හා කළමනාකරණ ක්‍රමවේදයද මෙම වර්ධනයට සෘජුවම දායක විය. ජනාධිපති මට්ටමේ මාසික අපනයන සමාලෝචන රැස්වීම්, අමාත්‍යාංශ සහ පෞද්ගලික අංශ අතර සෘජු සම්බන්ධීකරණය සහ දත්ත මත පදනම් වූ දෛනික අධීක්ෂණ පද්ධතියක් හඳුන්වාදීමෙන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වේගය ඉහළ නැංවීය. කාර්ය සාධනය මත පදනම් වූ වගකීම නිසා රාජ්‍ය යන්ත්‍රණය වඩාත් කාර්යක්ෂම හා ප්‍රතිඵල මූලික බවට පත් විය. අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනයද මෙම ආර්ථික ආකෘතියේ වැදගත් අංගයකි. කාර්මික හා තාක්ෂණික අධ්‍යාපනය  (TVET)  ශක්තිමත් කිරීමෙන් නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය විශේෂඥ ශ්‍රම බලකායක් නිර්මාණය විය. මෙය ඉහළ තාක්ෂණික නිෂ්පාදන ක්ෂේත්‍රවලට පිවිසීමට රටට හැකියාව ලබාදුන් අතර, දිගුකාලීන ආර්ථික තිරසාරත්වයද ශක්තිමත් කළේය. මෙම අත්දැකීම් අනුව, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටකටද අපනයන මූලික කාර්මික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වැදගත් බව පැහැදිලි වේ. අමුද්‍රව්‍ය අපනයනය මත පදනම් වූ ආර්ථිකයකින් ඉවත් වී, වටිනාකම වැඩි කරන නිෂ්පාදන ක්‍රමවේදවලට යාම, කාර්ය සාධනය මත පදනම් වූ ආර්ථික ප්‍රතිලාභ පද්ධති හඳුන්වාදීම සහ යටිතල පහසුකම් හා මානව සම්පත් සංවර්ධනයට ප්‍රමුඛත්වය දීමෙන් ආර්ථික වර්ධනය වේගවත් කළ හැක.


විධායකය ක්‍රියාත්මක කිරීම: කොරියානු ආශ්චර්යයේ මෙහෙයුම් මූලික පදනම 
දකුණු කොරියාවේ ආර්ථික පරිවර්තනයේ මූලික ව්‍යුහය වූයේ දැඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ ආයතනික වගකීම් පද්ධතියයි. මෙය ජනාධිපති මට්ටමේ නායකත්වයෙන් පැවැත්වූ මාසික අපනයන ප්‍රවර්ධන රැස්වීම් මගින් නිරූපණය විය. මෙම මධ්‍යගත සම්බන්ධීකරණ ක්‍රමයෙන් අමාත්‍යාංශ සහ පෞද්ගලික අංශ එකට එක් කරමින් නිශ්චිත වාර්ෂික හා මාසික අපනයන ඉලක්ක ක්‍රියාත්මක කළේය. සාම්ප්‍රදායික පසුබැසී විමර්ශන වෙනුවට, දෛනික දත්ත මත පදනම් වූ අධීක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක විය. වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යාංශය (MCI)  භාණ්ඩ මට්ටම අනුව දත්ත විශ්ලේෂණය කළ අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය (MFA)  භූගෝලීය ප්‍රදේශ අනුව කාර්ය සාධනය විමර්ශනය කළේය. ඉලක්ක අසාර්ථක වූ විට රාජ්‍ය තාන්ත්‍රිකයන් පවා වගකීම් සඳහා ආපසු කැඳවීම සිදුවිය. මෙම දැඩි වගකීම් පද්ධතියෙන් වේගවත් තීරණ ගැනීම සහ ක්ෂණික ගැටලු‍ විසඳීමට හැකි විය.
මෙම මෙහෙයුම් ආකෘතියේ තවත් වැදගත් ලක්ෂණයක් වූයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ “තත්කාලීන ප්‍රතිචාර යාන්ත්‍රණය”  (real-time feedback mechanism)  ය. ආර්ථික ඉලක්ක සාර්ථකව ඉටු නොවූ විට, ගැටලු‍ව හඳුනා ගැනීම සඳහා කාලය වැය කිරීම වෙනුවට, ක්ෂණිකව ක්‍රියාත්මක වන නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග (corrective actions)  ගනු ලැබීය. මෙය නිසා රාජ්‍ය යන්ත්‍රණය පසුබැසී විගණනයක් මත නොව, අඛණ්ඩ ක්‍රියාකාරී පාලනයක් මත ක්‍රියාත්මක විය. තවද, මෙම පද්ධතිය තුළ රාජ්‍යය සහ පෞද්ගලික අංශ අතර සෘජු සම්බන්ධතාව ඉතා ශක්තිමත් විය. කර්මාන්ත නායකයන්, බැංකු ආයතන සහ රාජ්‍ය නිලධාරීන් එකම වේදිකාවක එකට වැඩ කිරීමෙන් ප්‍රතිපත්ති හා ක්‍රියාත්මක කිරීම අතර ඇති සාම්ප්‍රදායික පරතරය අවම විය. එමගින් නිෂ්පාදන අඩුපාඩු, අපනයන බාධා සහ සැපයුම් දාම ගැටලු‍ ඉක්මනින් හඳුනාගෙන විසඳීමට හැකි විය. මෙම ක්‍රමයේ තවත් වැදගත් අංගයක් වූයේ කාර්ය සාධන මත පදනම් වූ දැඩි දඬුවම් සහ උත්තේජන  (performance-based rewards and sanctions)  පද්ධතියයි. ඉලක්ක ඉටු කරන අමාත්‍යාංශ සහ ආයතනවලට අතිරේක සම්පත් සහ ප්‍රතිලාභ ලබාදීමත්, අසාර්ථක වූ ආයතනවල නායකත්වය වෙනස් කිරීමත් සාමාන්‍ය පාලන ක්‍රමයක් විය. මෙය රාජ්‍ය සේවයේ වගකීම සහ කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීය. අවසානයේ, මෙම සියලු‍ මෙහෙයුම් යාන්ත්‍රණ එකට එක්ව, ප්‍රතිපත්ති නිර්මාණය සහ ක්‍රියාත්මක කිරීම අතර ඇති කාල ප්‍රමාදය අවම කළ අතර, ආර්ථික තීරණ ඉතා වේගවත් හා ප්‍රතිඵල මූලික  (results-oriented)  බවට පත් කළේය. මේ ආකාරයේ ඉහළ මට්ටමේ සම්බන්ධීකරණය සහ දැඩි වගකීම් පද්ධතිය නිසා දකුණු කොරියාව කාර්මික වශයෙන් තරගකාරී ගෝලීය ආර්ථික බලවතෙකු බවට පත් විය.


කොරියානු අත්දැකීම්වලින් පාඩම් 
සාර්ව ආර්ථික දෘෂ්ටියකින් බලන විට, දකුණු කොරියාවේ සංවර්ධනය “බාධාකාරී සාධක” (binding constraints) ක්‍රමයෙන් ඉවත් කිරීම මත පදනම් වූ බව පැහැදිලි වේ. අඩු ආයෝජන සහ ව්‍යවසායකත්වය සාමාන්‍යයෙන් ඇතිවන්නේ අඩු ආදායම් ප්‍රතිලාභ හෝ ඉහළ මූල්‍ය පිරිවැය නිසාය. දකුණු කොරියාව මෙම ගැටලු‍ ක්‍රමයෙන් විසඳීය. මානව සම්පත් සහ යටිතල පහසුකම් අඩුකම නිසා ඇති වූ අඩු සමාජ ප්‍රතිලාභ ගැටලු‍ව, විශේෂ තාක්ෂණික පාසල් 19ක් පිහිටුවා වාර්ෂිකව දක්ෂ තාක්ෂණික ශිල්පීන් 50,000ක් නිර්මාණය කිරීමෙන් විසඳන ලදී. 1965 ජපාන වන්දි මුදල් භාවිත කර යටිතල ව්‍යාපෘති ගොඩනැගීය. ඒ සමගම මාසික අපනයන රැස්වීම් මගින් රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සම්බන්ධීකරණ අසාර්ථකතා ඉවත් කළේය.
මූල්‍ය පද්ධතියේ දුර්වලතා, අපනයන කාර්ය සාධනය මත පදනම් වූ ණය ලබාදීමෙන් විසඳන ලදී. මෙමගින් සමාගම්වල ප්‍රමාණය හෝ ඇපකර නොසලකා සැබෑ අපනයන ක්‍රියාකාරකම් මත මූල්‍ය ප්‍රවේශය ලබා දුන්නේය. මේ අනුව දකුණු කොරියාව අවදානම් සහිත, අඩු ආයෝජන ආර්ථිකයකින් ගෝලීය මට්ටමේ කාර්මික බලවතෙකු බවට පරිවර්තනය විය.


ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමන් මගට පාඩම්
දකුණු කොරියාව යුද්ධයෙන් පසු විනාශ වූ රටක සිට උසස් තාක්ෂණික ගෝලීය ආර්ථිකයකට පරිවර්තනය වීම, ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා වැදගත් ආදර්ශයක් සපයයි.
දකුණු කොරියාව ස්වාභාවික සම්පත් අඩු බව තේරුම් ගෙන අමුද්‍රව්‍ය ආනයනය සැකසීම අපනයනය ආකෘතිය ක්‍රියාත්මක කළේය. මෙම “සම්පත් මත පදනම් ආර්ථිකයෙන් වටිනාකම වැඩි කිරීමේ ආකෘතියට යාම” යන ප්‍රවේශය දකුණු කොරියාවේ ආර්ථික උත්කර්ෂයට මූලික වූ තීරණාත්මක මාරුවක් ලෙස සැලකිය හැකිය. ස්වාභාවික සම්පත් අඩු බව ආර්ථික දුර්වලතාවක් ලෙස නොසලකා, එය උපාය මාර්ගික වාසියක් බවට පරිවර්තනය කරමින් රට “අමුද්‍රව්‍ය ආනයනය-සැකසීම-අපනයනය” යන ඉහළ කාර්යක්ෂම නිෂ්පාදන දාමයකට පිවිසුණි. මෙම ආකෘතිය තුළ රටේ ප්‍රධාන අවධානය යොමු වූයේ අඩු වටිනාකමක් ඇති අමුද්‍රව්‍ය ඉහළ තාක්ෂණික සහ ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදන බවට පරිවර්තනය කිරීමයි.
මෙම ක්‍රමයේ සාර්ථකත්වය සඳහා කාර්මික කලාප සහ විශේෂ ආර්ථික කලාප (special economic zones) විශාල භූමිකාවක් ඉටු කළේය. මෙම කලාප තුළ යටිතල පහසුකම්, බදු සහන සහ ලොජිස්ටික්ස් පහසුකම් සෘජුවම අපනයන කේන්ද්‍රීය නිෂ්පාදනය සඳහා සැලසුම් කරන ලදී. එමගින් නිෂ්පාදන පිරිවැය අඩුවී, නිෂ්පාදන වේගය ඉහළ ගොස්, ගෝලීය වෙළෙඳපොළේ තරගකාරිත්වය වැඩි විය. එමෙන්ම, වටිනාකම වැඩි කිරීමේ ආකෘතිය යටතේ නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අදියරක්ම ආර්ථික වටිනාකමක් නිර්මාණය කරන ආකාරයට සැලසුම් විය. අමුද්‍රව්‍ය ආනයනය කිරීමෙන් පසු ඒවා යාන්ත්‍රික, රසායනික සහ ඉංජිනේරු ක්‍රියාවලි මගින් අවසන් නිෂ්පාදන බවට පත් කර, ඉහළ මිලකට අපනයනය කිරීම මගින් විදේශ විනිමය ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.
ශ්‍රී ලංකාව වැනි රටක් සඳහා මෙම ආකෘතිය විශේෂ වැදගත්කමක් දරයි. දිගුකාලීනව අමුද්‍රව්‍ය අපනයනය මත පදනම් වීමෙන් ලැබෙන ආදායම සීමිත වන අතර, ගෝලීය මිල උච්චාවචනවලට ඉතා අවදානම් වේ. එබැවින් වරාය ආශ්‍රිත කර්මාන්ත කලාප, ලොජිස්ටික්ස් හබ් සහ අපනයන සැකසුම් කලාප සංවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවටද අමුද්‍රව්‍ය ආනයනය කර වටිනාකම වැඩි කළ නිෂ්පාදන අපනයනය කිරීමේ හැකියාව ඇති වේ.


කාර්ය සාධන මත පදනම් උත්තේජන ක්‍රම 
රාජ්‍ය ආධාර, බදු සහන සහ ණය සැපයීම සැබෑ අපනයන කාර්ය සාධනය මත පදනම් විය යුතුය. දේශපාලන බලය, සමාගම් ප්‍රමාණය හෝ සම්බන්ධතා මත නොව, මැනිය හැකි ප්‍රතිඵල මත පදනම් වූ පද්ධතියක් මෙහි මූලික අරමුණ වේ. මෙවැනි ක්‍රමයක් තුළ සමාගම් අඛණ්ඩව තරගකාරී වීමට බල කෙරෙන අතර, නිෂ්පාදන කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ස්වාභාවිකව ඉහළ යයි. එමෙන්ම, කාර්ය සාධන දර්ශක (KPIs)  මත පදනම් වූ ස්වයංක්‍රීය අධීක්ෂණ පද්ධතියක් හඳුන්වාදීමද වැදගත් වේ. අපනයන වටිනාකම, විදේශ වෙළෙඳපොළ විවිධාංගීකරණය, සහ නිෂ්පාදන වර්ධන වේගය වැනි දත්ත මත ප්‍රතිලාභ ලබාදීමෙන්, රාජ්‍ය මූල්‍ය සම්පත් වඩාත් කාර්යක්ෂම ලෙස වෙන් කළ හැක. 


ඉහළ මට්ටමේ සම්බන්ධීකරණය සහ වගකීම 
ජනාධිපති මට්ටමේ සෘජු නායකත්වයෙන් ක්‍රියාත්මක වන අපනයන සහ කාර්මික සමාලෝචන යාන්ත්‍රණ මගින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වේගය ඉහළ යයි. මෙවැනි මධ්‍යගත සම්බන්ධීකරණ පද්ධතියක් තුළ ප්‍රවාහන, වරාය, කර්මාන්ත, මූල්‍ය සහ වෙළෙඳ අංශ එකම උපාය මාර්ගයකට යොමු කරනු ලබයි. මෙහිදී ප්‍රධාන වශයෙන් වැදගත් වන්නේ තොරතුරු සම්බන්ධතාව සහ තීරණ ගැනීමේ වේගයයි. දෛනික දත්ත විශ්ලේෂණය මත පදනම්ව ගැටලු‍ හඳුනාගෙන ක්ෂණිකව විසඳීම මගින් ආර්ථිකයේ අකාර්යක්ෂමතා අවම කළ හැක. රාජ්‍ය ආයතන අතර ඇති සම්බන්ධීකරණ අඩුපාඩු ඉවත් කිරීමෙන්, ප්‍රතිපත්ති හා ක්‍රියාත්මක කිරීම අතර ඇති පරතරය සම්පූර්ණයෙන්ම අඩු වේ.


යටිතල පහසුකම් සහ මූල්‍ය ආයෝජන 
රාජ්‍ය මූල්‍ය සම්පත් කෙටි කාලීන පරිභෝජන වියදම් සඳහා නොව, දිගුකාලීන ආර්ථික වර්ධනයට සෘජුවම බලපාන යටිතල පහසුකම් සඳහා යොමු කළ යුතුය. වරාය, මහාමාර්ග, දුම්රිය ජාල, බලශක්ති පද්ධති සහ කාර්මික කලාප වැනි ආයෝජන මගින් නිෂ්පාදන පිරිවැය අඩුවී, අපනයන තරගකාරිත්වය ඉහළ යයි. එමෙන්ම, විදේශ ආධාර සහ ණය “උපාය මාර්ගික ආයෝජන” ලෙස සීමා කර භාවිත කිරීම වැදගත් වේ. එනම්, ආදායම් උපදවන ව්‍යාපෘති සඳහා පමණක් මූල්‍යය යොමු කිරීමෙන් දිගුකාලීන ණය බර අවම කර ගත හැක. මෙය ආර්ථිකයේ ස්වයංපෝෂිතභාවය ශක්තිමත් කරයි.


වෘත්තීය අධ්‍යාපනය සහ කර්මාන්ත අවශ්‍යතා 
කාර්මික හා තාක්ෂණික අධ්‍යාපන  (TVET)  පද්ධතිය රටේ කාර්මික උපාය මාර්ගයට සෘජුවම සම්බන්ධ විය යුතුය. වෙළෙඳපොළ අවශ්‍යතා අනුව නිපුණතා ඇති ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමෙන් නිෂ්පාදන කර්මාන්තවල කාර්යක්ෂමතාව ඉහළ යයි. විශේෂයෙන්ම, නවීන කර්මාන්ත සඳහා අවශ්‍ය ඩිජිටල් කුසලතා, ස්වයංක්‍රීය පද්ධති කළමනාකරණය, ලොජිස්ටික්ස් තාක්ෂණය සහ ඉංජිනේරු නිපුණතා වැනි ක්ෂේත්‍රවල පුහුණුව ප්‍රමුඛ විය යුතුය. එමගින් රටේ මානව ප්‍රාග්ධනය  (human capital)  ගෝලීය තරගකාරී මට්ටමකට ඉහළ නැංවිය හැක.


අතිරේක උපාය මාර්ගික අවධානය 
මෙම සියලු‍ ක්ෂේත්‍ර එකට සම්බන්ධ කරන මූලික සාධකය වන්නේ “ආර්ථික පද්ධති ඒකාබද්ධතාව” ය. ප්‍රතිපත්ති, මූල්‍යය, අධ්‍යාපනය, තාක්ෂණය සහ යටිතල පහසුකම් වෙන්වූ ක්ෂේත්‍ර ලෙස නොව, එකම ජාතික සංවර්ධන යන්ත්‍රණයක අන්තර් සම්බන්ධිත කොටස් ලෙස ක්‍රියාත්මක විය යුතුය. මෙම ඒකාබද්ධතාව නොමැති විට එක් එක් ප්‍රතිපත්තිය වෙනම සාර්ථක වුවද, සමස්ත ආර්ථික පරිවර්තනය දුර්වලව පවතින අවදානමක් ඇත.
ඒ අනුව, දිගුකාලීන දැක්මක් සහිත ඒකාබද්ධ සංවර්ධන රාමුවක් (Integrated development framework)  යනු කෙටි කාලීන ප්‍රතිචාර මත නොව, වසර 10-20 ක ඉලක්ක මත පදනම් වූ සැලසුම් ක්‍රමයකි. මෙහිදී අපනයන වර්ධනය, කර්මාන්ත විවිධාංගීකරණය, මානව සම්පත් සංවර්ධනය සහ යටිතල පහසුකම් ආයෝජන එකම උපාය මාර්ගික මාර්ග සිතියමකට (Strategic roadmap)  යටත් කරනු ලබයි. තවද, මෙම ඒකාබද්ධ රාමුව තුළ දත්ත මත පදනම් වූ පාලනය  (Data-driven governance) අත්‍යවශ්‍ය වේ. නිෂ්පාදන, අපනයන, රැකියා සහ ආයෝජන සම්බන්ධ දත්ත නිරන්තරයෙන් එකතු කර විශ්ලේෂණය කිරීමෙන් ප්‍රතිපත්ති නිවැරදිව සකස් කළ හැක. මෙය ප්‍රතිපත්ති නිර්මාණය සහ ක්‍රියාත්මක කිරීම අතර ඇති අසමතුලිතතාව අවම කරයි. එමෙන්ම, ආයතනික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහා ස්වාධීන නමුත් සම්බන්ධිත ආයතනික ජාලයක් අවශ්‍ය වේ. එක් එක් ආයතනයට තම ක්ෂේත්‍රය තුළ ක්‍රියාකිරීමේ ස්වාධීනත්වය තිබුණද, ඒවා සියල්ලම ජාතික උපාය මාර්ගික ඉලක්කයකට වගකිව යුතු විය යුතුය. අවසානයේ, මෙවැනි පද්ධතිමය ඒකාබද්ධතාව මගින් ආර්ථිකය කැබලිවූ ක්‍රියාකාරකම් එකතුවක් නොව, සම්බන්ධීකෘත හා දිශානත ජාතික වර්ධන යන්ත්‍රණයක් බවට පරිවර්තනය වේ. එමගින් පමණක් තිරසාර කාර්මික පරිවර්තනයක් සහ ගෝලීය තරගකාරීත්වය ලබාගත හැකිය.