කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
දෙස් විදෙස් සංචාරක පාරාදීසයක් ලෙස කරන්දෙණියේ රන්දෙණිගම ගමෙහි ස්ථාන හදුනා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගැනේ. නව සංචාරක ගමනාන්ත සඳහා විභවතා සහිත දකුණු පළාතේ ස්ථාන හඳුනාගෙන සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ කරන්දෙණිය රන්දෙණිගම සංචාරක ස්ථාන හදුනා ගැනීමේ වැඩසටහන ආරම්භ කෙරිණ. මේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ලෙස කරන්දෙණිය රන්දෙණිගම සංචාරක ස්ථාන හඳුනා ගැනීමේ නිරීක්ෂණ චාරිකාවක් කෙරිණ. මීට සමගාමීව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වටයක්ද කරන්දෙණියේදී පැවැත්විණ.
රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් කුමාර, උප සභාපති සමීර ප්‍රසාද් ජයවර්ධන, කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් ප්‍රශන්ති මධුරංගි යන මහත්ම මහත්මීහු මේ වැඩසටහන ආරම්භ කිරීමට පෙරමුණ ගත්හ. කරන්දෙණිය රන්දෙණිගම ගමෙහි එක් අන්තයක් මායිම් වී ඇති මාදු ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ පවතින ස්වාභාවික හා ප්‍රජා මූලික සංචාරක හැකියාව පිළිබඳව සාකච්ඡා කළ අතර රන්දෙණිගම මායිම්වී ඇති ස්වාභාවික පරිසරය සමග බැඳුණු අත්දැකීම්, කුරුඳු හා පලතුරු ආශ්‍රිත ක්‍රියාකාරකම්, මීමැසි පාලනය, කඩොලාන සංරක්ෂණය හා රෝපණය මෙන්ම ප්‍රදේශයේ සංස්කෘතික හා පාරිසරික වටිනාකම් සංචාරක අත්දැකීම් බවට පත් කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු විය.


රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මහතා මෙහිදී අවධාරණය කළේ, ප්‍රදේශයේ ස්වාභාවික සම්පත් හා ප්‍රජාව මූලික කරගත් පරිසරයට වගකියන සහ තිරසාර සංචාරක ආර්ථිකයක් ගොඩනැගීම මෙවැනි වැඩසටහන්වල මූලික අරමුණ විය යුතු බවයි. ඒ සඳහා පවතින සම්පත්, විශේෂඥ දැනුම, ආයතනික සහයෝගය හා ප්‍රතිපාදන ලබාගැනීමේ හැකියාව සලකා බලා, කළ හැකි දේ නිසි අධ්‍යයනයකින් පසුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ගොඩකන්ද මහතා වැඩි දුරටත් කීය.