ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු අතරින් මූල්‍ය අතරමැදි සේවා ක්ෂේත්‍රයේ සිය නායකත්වය යළිත් තහවුරු කරමින් 2026 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුවේදී තැන්පතු රුපියල් ට්‍රිලියන 3 සීමාව ඉක්මවා ගිය පළමු වන බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව ඇත.
2026 ජූනි 30 දිනෙන් අවසන් වූ මාස හයක කාලය තුළ සමූහයේ තැන්පතු රුපියල් බිලියන 315.13 කින් වර්ධනය වී ඇති අතර එම වර්ධනය රුපියල් බිලියන 52.52 ක මාසික සාමාන්‍යයක් නියෝජනය කරයි. වසරේ පළමු අර්ධය අවසන් වන විට සමූහයේ මුළු තැන්පතු වටිනාකම රුපියල් ට්‍රිලියන 3.02 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊට පෙර මාස 12 ක කාලය තුළ තැන්පතු සියයට 20.33 ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇති අතර එම කාලය තුළ මාසික සාමාන්‍ය වර්ධනය රුපියල් බිලියන 42.46 කි.
සලකා බලන මාස හය කාලය තුළ සමූහයේ දළ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 270.43 කින් වර්ධනය වී ඇති අතර එය මසකට රුපියල් බිලියන 45.07 ක සාමාන්‍යයක වර්ධනයකි. එම කාලය තුළ මූල්‍ය අතරමැදි සේවා සැපයීමේදී බැංකුව ඉටු කරන කාර්යභාරය අවධාරණය කරමින් බැංකුවේ ණය කළඹ රුපියල් ට්‍රිලියන 2.36 ක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය මාස 12 ක කාලය තුළ ණය ලබාදීම රුපියල් බිලියන 624.48 කින් හෙවත් සියයට 36.07 කින් වර්ධනය වී ඇති අතර මසකට සාමාන්‍ය ණය වර්ධනය රුපියල් බිලියන 52.04 ක් විය.
කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කර ඇති අතුරු මූල්‍ය ප්‍රකාශනවලට අනුව සමූහයේ මුළු වත්කම් 2025 දෙසැම්බර් මාසයේ සිට සියයට 10.68 කින් හෙවත් රුපියල් බිලියන 361 කින් වර්ධනය වී 2026 ජූනි 30 වන විට රුපියල් ට්‍රිලියන 3.74 ක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය මාස 12 ක කාලය තුළ සමූහයේ මුළු වත්කම් කැපී පෙනෙන සියයට 19.42 කින් හෙවත් රුපියල් බිලියන 608.16කින් ඉහළ යාමක් වාර්තා කර ඇත.
ගෝලීය හා කලාපීය සිදුවීම් ව්‍යාපාර සහ ආර්ථිකයන් කෙරෙහි අඛණ්ඩව බලපාමින් පවතින පසුබිමක අපගේ මූලික බැංකු කටයුතු ශක්තිමත්ව පවතින බැවින් ඒ පිළිබඳව පාර්ශ්වකරුවන්ට විශ්වාසයක් තබාගත හැකිය.” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා පැවසීය. වෙනස් වන තත්ත්වයන්ට අනුව බැංකුව සිය සැලසුම් සහ උපායමාර්ග අඛණ්ඩව යාවත්කාලීන කරමින් සිටින අතර ගනුදෙනුකරුවන්ට”‍ පාර්ශ්වකරුවන්ට සහ සමස්ත ප්‍රජාවට දිගුකාලීන ප්‍රතිලාභ ලබාදීම බැංකුවේ ප්‍රධාන අරමුණයි.”‍ යනුවෙන් ඔහු තවදුරටත් අදහස් දැක්වීය.
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා වැඩිදුරටත් මෙසේ පැවසුවේය. බාහිර සාධකවලින් ඇති විය හැකි අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂිත සංචිත පවත්වාගෙන යාමට අප අනුගමනය කරන විචක්ෂණශීලී ප්‍රවේශය අපගේ මාස හයක මූල්‍ය ප්‍රතිඵලවලින් පැහැදිලි වේ. විශේෂයෙන් දෙවන කාර්තුවට අදාළව ණය හානිපූරණය සඳහා වෙන් කළ ප්‍රතිපාදන වැඩි කිරීමද ඊට ඇතුළත් වේ. ගෝලීය ආර්ථික තත්වයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් අවදානම් කළමනාකරණය කෙරෙහි අපගේ වැඩි අවධානය යොමු කර ඇති අතර මෙම අභියෝගකාරී තත්වය හමුවේ අපගේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සහාය ලබාදීමට බැංකුව ශක්තිමත් ස්ථාවරයක සිටියි.”
ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව සහ අනුබද්ධ සමාගම් හයකින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය මාස හය සඳහා රුපියල් බිලියන 63.62 ක මූල්‍ය සේවා මත බදු ගෙවීමට පෙර ලාබයක් වාර්තා කර ඇති අතර එය සියයට 14.44 ක වර්ධනයකි.
මාස හයක කාලය සඳහා මූල්‍ය සේවා මත අය කරන බදු සියයට 20.38 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 10.56 ක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සමූහයේ බදු ගෙවීමට පෙර ලාබය රුපියල් බිලියන 53.05ක් වූ අතර එය සියයට 13.33 ක වර්ධනයක් පෙන්නුම් කරයි. එම කාලය සඳහා ආදායම් බදු සියයට 12.67 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 17.63 ක් වූ අතර මාස 6 ක කාල සීමාව සඳහා සමූහයේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 35.42 ක් විය. එය සියයට 13.66 ක වර්ධනයකි.
වෙනම ගත් විට, පළමු අර්ධයේදී කොමර්ෂල් බැංකුවේ බදු ගෙවීමට පෙර ලාබය රුපියල් බිලියන 50.85 ක් හා බදු ගෙවීමෙන් පසු ලාබය රුපියල් බිලියන 33.79 ක් ලෙස වාර්තා කර ඇති අතර එය පිළිවෙළින් සියයට 12.39 ක සහ සියයට 12.45 ක වර්ධනයකි.
2026 ජූනි 30 වන විට බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය සියයට 13.23 ක් වූ අතර සමස්ත ප්‍රාග්ධන අනුපාතය සියයට 16.58ක් විය. මෙය නියාමන අවම අනුපාතයන් පිළිවෙළින් සියයට 10 සහ සියයට 14 ට වඩා ඉහළ අගයකි.