IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කොටස් වෙළෙඳපොළ රෙකෝඩ් කැඩීම

කොටස් වෙළෙඳපොළ ඉහළයාම හා නියාමනය පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සකස් කළ ලිපියකි මේ. 
කොළඹ කොටස් වෙළෙඳපොළ මේ වන විට ඉතිහාසයේ වාර්තා කළ ඉහළම අගය වාර්තා කර ඇත. කොටස් වෙළෙඳපොළේ මෙම ඉහළයාමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ දේශීය ආයෝජකයන්ගේ හැසිරීමයි. වර්තමානය වන විට කොටස් වෙළෙඳපොළ මුළු පිරිවැටුමින් සියයට 93.4 කට දායක වී ඇත්තේ දේශීය සමාගම් සහ දේශීය තනි පුද්ගල ආයෝජකයන්ය. දේශීය සමාගම් කොටස් වෙළෙඳපොළ මුළු පිරිවැටුමින් සියයට 45 කට දායක වී ඇති අතර දේශීය තනි පුද්ගල ආයෝජකයන් කොටස් වෙළෙඳපොළ මුළු පිරිවැටුමින් සියයට 47කට දායක වී ඇත. විදේශීය ආයෝජකයන් කොටස් වෙළෙඳපොළ මුළු පිරිවැටුමින් සියයට  6 ක පමණ ප්‍රතිශතයකට දායක වී ඇත. 
කොටස් වෙළෙඳපොළ මේ දක්වා මේ වසරට සියයට 25ක් ඉහළ ගොස් ඇති අතර පසුගිය වසරේ සියයට 50 කට ආසන්න ඉහළයාමක්  පෙන්නුම් කළේය. මෙම ඉහළයාම තුළ විශාල වශයෙන් දේශීය නවක ආයෝජකයන් කොටස් වෙළෙඳපොළට පැමිණෙමින් සිටී. මෙසේ කොටස් වෙළෙඳපොළට පැමිණෙන නවක ආයෝජකයන් සමහර අවස්ථාවල කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳව හැදෑරීමක් කර පැමිණෙන අතර තවත් සමහර ආයෝජකයන් මේ ඉහළයාම දුටු පමණින් කොටස් වෙළෙඳපොළට පැමිණ ආයෝජනය කරයි. කොටස් වෙළෙඳපොළට පැමිණෙන ඔබ මුලින්ම සිදුකළ යුතු කාර්යය වන්නේ කොටස් වෙළෙඳපොළ පිළිබඳව හැදෑරීමක් කර එහි ආයෝජනයට යොමුවීමයි. එසේ සිදු නොකර කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම ප්‍රඥා ගෝචර නොවේ. 
කොටස් වෙළෙඳපොළේ මෙම ඉහළයාමත් සමඟම බොහෝ ආයෝජකයන්ට පැන නගින ප්‍රධාන ප්‍රශ්නය නම් ඔවුන් කොටස් වෙළෙඳපොළේදී කොතරම් ආරක්ෂිතද යන්නයි. කොටස් වෙළෙඳපොළට මුදල් යෙදවීම යනු තවත් එක් ආයෝජන මාර්ගයක් වන අතර ඕනෑම ආයෝජන මාර්ගයකට පොදු ඉහළ ප්‍රතිලාභ සහ අවදානම කොටස් වෙළෙඳපොළේද ඇත. කොටස් මිල ගණන් ඉහළ හෝ පහළ යා හැකි අතර එහි අවදානමක් පවතී. කොටස් මිල ගණන් තීරණය වන්නේ කොටස් වලට ඇති ඉල්ලු‍ම හෝ සැපයුම මතය. යම් සමාගමක කොටස්වලට ඉහළ ඉල්ලු‍මක් ඇත්නම් එම කොටස් මිල ගණන් ඉහළයාමටද, පහළ ඉල්ලු‍මක් ඇත්නම් එම කොටස් මිල ගණන් පහළයාමටද ඇති ප්‍රවණතාව ඉතා වැඩිය. මෙසේ සිදු වන්නේ එම කොටස්වලට ඇති ස්වාභාවික ඉල්ලු‍ම හා සැපයුම මුල් කර ගෙනය. එසේ නොමැතිව කිසියම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් කොටස් වෙළෙඳපොළට ඇති මෙම ස්වාභාවික ඉල්ලු‍ම හා සැපයුමට යම් කිසි බලපෑමක් කරන්නේ නම් එය කොටස් වෙළෙඳපොළේ පැවැත්මට සෘණාත්මකව බලපානු ඇත. 
කොටස්වලට ඇති මෙම ස්වාභාවික ඉල්ලු‍ම හා සැපයුමට යම් කිසි පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් බලපෑම් කරන්නේදැයි සොයා බලනු ලබන්නේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳපොළයි. එයින්ද ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට ඇති වගකීම අති මහත්ය. කොටස් වෙළෙඳපොළ නියාමකයා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවය. එය පනතක් මගින් පිහිටුවා ඇති රාජ්‍ය ආයනයකි. එම පනත හඳුන්වනු ලබන්නේ 2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත වශයෙනි. එම පනතට අනුව එහි ප්‍රධාන අරමුණු වන්නේ සාධාරණ, විධිමත්, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් සුරැකුම්පත් වෙළෙඳපොළක් ඇති කිරීම, පවත්වාගෙනයාම සහ නියාමනය කිරීමත්, දේශිය සහ විදේශීය ආයෝජකයන්ගේ සම්බන්ධතා ආරක්ෂා කිරීමත් සහ සුරැකුම්පත් වෙළෙඳපොළවල්වලට අදාළව සපයනු ලබන සේවාවල උසස් වෘත්තීයමය ප්‍රමිති පවත්වාගෙන යන බවට වගබලා ගැනීමත්ය. 
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නියාමනය කිරීමට ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන්නේ එහි ඇති ආවේක්ෂණ පද්ධතියයි. මෙම ආවේක්ෂණ පද්ධතිය මගින් ඕනෑම සමාගමක කොටස්  මිලදී ගන්නේ කවුරුන්ද, කොටස් විකුණනු ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳව තොරතුරු ලබාගත හැකිය. එමෙන්ම කොටස් වෙළෙඳපොළේ දැනට ඇති ලක්ෂ 8 කට අධික CDS ගිණුම් සියල්ලේම තොරතුරු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සතුය. එමෙන්ම යම්කිසි පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් යම් ආකාරයකින් කෘතිමව කොටස් මිල ගණන් ඉහළ හෝ පහළ දැමීමට උත්සාහ කරයි නම් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ආවේක්ෂණ අංශයට එය නිරීක්ෂණය කළ හැකිය. කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී එසේ කෘතිමව මිල ගණන් හැසිරවීමට උත්සාහ කිරීම වරදක් වන අතර ඊට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට බලය ඇත. 
යම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් කොටස් මිල ගණන් ඉහළ හෝ පහළ දැමීමට උත්සාහ කරයි නම් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ආවේක්ෂණ අංශය විසින් මුලින්ම සිදු කරනු ලබන්නේ එම පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායමේ පසුගිය කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිළිබඳව අධීක්ෂණය කිරීමයි. ඉන් පසු එම ආයෝජකයා හෝ ආයෝජක කණ්ඩායම පිළිබඳව යම්කිසි වැඩිදුර සොයාබැලීමක්  (හැදෑරීමක්) කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබයි. එම ක්‍රියාමාර්ග අතරට දුරකථනයෙන් කතාකර එම ආයෝජකයා හෝ ආයෝජක කණ්ඩායමට ඔවුන් සිදුකරමින් පවත්නා අක්‍රමිකතාව පිළිබඳව පහදා දී එය වහාම නතර කිරීමට පියවර ගැනීමද ඇතුළත්ය. එහිදී දුරකථනයෙන් අවවාද දෙනු ලබන්නේ යම් ආයෝජකයකු හෝ ආයෝජක කණ්ඩායමක් කෘතිමව මිල ගණන් ඉහළ දැමීමට උත්සාහ කරමින් සිටින මුල් අවස්ථාවේදීය. එවිට එම අක්‍රමිකතාව සිදු කිරීමට පටන් ගෙන ඇති අතර එම අක්‍රමිකතාව එතනින් නතර කිරීමට මෙම දුරකථන ඇමතුම් ඉවහල් වේ. 
උදාහරණයක් වශයෙන් සමහර පුද්ගලයන් සමහර අවස්ථාවලදී උත්සාහ කරනු ලබන්නේ කුඩා කාණ්ඩ වශයෙන් කොටස් ප්‍රමාණයන් මිලදී ගෙන යම් කිසි සමාගමක කොටස් මිල කෘතිමව ඉහළ දැමීමටය. කොටස් එකක් හෝ දෙකක් වැනි කුඩා ප්‍රමාණයක් එක දිගටම නොකඩවා මිලදී ගැනීමෙන් මෙය සිදු කරනු ලබයි. බොහෝ විට එසේ සිදු කරනු ලබන්නේ මෙසේ කොටස් මිල ඉහළ දමා කොටස් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගිය පසු තමන් සතුව තිබෙන කලින් මිලදී ගෙන ඇති කොටස් විකුණා දැමීමයි. කොටස් වෙළෙඳපොළෙහි ආවේක්ෂණය පිළිබඳව දැනුමක් නොමැති ආයෝජකයන් මෙසේ ගනුදෙනු කිරීමට උත්සාහ කරනු ලබයි. එනමුත් මෙම හැසිරීම ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධීක්ෂණයට ලක් වන්නේ ආවේක්ෂණ පද්ධතිය හරහාය. කලින් සඳහන් කළ ආකාරයටම කුමන පුද්ගලයෙක්, කුමන කොටස් ප්‍රමාණයක්, කුමන මිලකට, කුමන වේලාවේ මිලදි ගත්තේද යන වග ආවේක්ෂණ පද්ධතියෙහි සටහන් වේ. මෙහිදි පැවසිය යුතු ප්‍රධාන කරුණක් වන්නේ කුඩා කාණ්ඩ වශයෙන් කොටස් මිලදී ගැනීමේ වරදක් නොමැති අතර ප්‍රශ්නය වන්නේ මෙසේ  කුඩා කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන ක්‍රම ක්‍රමයෙන් කොටස් මිල ගණන් ඉහළ දැමීමට උත්සාහ කිරීමයි. පවත්නා මිල ගණන් යටතේ කුඩා කාණ්ඩ වශයෙන් කොටස් මිලදී ගැනීමේ වරදක් නැත. 
ආවේක්ෂණයේදී දක්නට ලැබෙන තවත් වැදගත් කරුණක් වන්නේ සමහර ආයෝජකයන්  ඇතැම් සමාජ මාධ්‍ය හරහා විවිධ ආයෝජන උපදෙස් ලබාදීමයි. මෙය නීති විරෝධී වන අතර ආයෝජන උපදෙස් සහ පුරෝකථන ලබා දිය හැක්කේ ලියාපදිංචි ආයෝජන උපදේශකවරුන්ට පමණි. ලියාපදිංචි ආයෝජන උපදේශකවරුන් යනු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් පවත්වනු ලබන පාඨමාලා නිසි ලෙස හදාරා නියමිත සුදුසුකම් සපුරා ඇති කොටස් ගනුදෙනු කිරීමට ආයෝජකයන්ට උපදෙස් ලබාදීමට බලය ලබා ඇති පුද්ගලයන්ය. මෙසේ සමාජ මාධ්‍ය හරහා ආයෝජන උපදෙස් ලබා දෙන  ආයෝජකයන්ටද බොහෝ විට ආවේක්ෂණ අංශය මගින් ඔවුන් සම්බන්ධ කරගෙන එසේ සිදු නොකිරීමට උපදෙස් ලබා දෙනු ලබයි. 
තවත් සමහර ආයෝජකයන් උත්සාහ කරනු ලබන්නේ සමාජ මාධ්‍ය හරහා යම්කිසි සමාගමක කොටස් රෙකමදාරු කර අනෙකුත් ආයෝජකයන් එම කොටස් මිලදී ගැනීමට පෙළඹවීමයි. බොහෝ විට මෙසේ සිදු කිරීමට උත්සාහ කරනු ලබන්නේ තම ගිණුමට එම කොටස් කලින් මිලදී ගෙන ඇති ආයෝජකයන්ය. සමාජ මාධ්‍ය හරහා මෙම කොටස් රෙකමදාරු කර කොටස් මිල ඉහළ ගිය පසු තම ගිණුමේ ඇති කලින් මිලදි ගත් කොටස් විකුණා ගැනිමට ඔවුන් උත්සාහ කරනු ලබයි. මෙවැනි අය හටද නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වේ. අප මෙහි සඳහන් කළේ උදාහරණ කිහිපයක් පමණි. දුරකථන ඇමතුම් මගින් හෝ වෙනත් ක්‍රමයකින් ආයෝජකයන්ට උපදෙස් ලබාදී සිදුකරන වැරදි වැළැක්වීම එක් කාර්යයක් පමණි. එහෙත් සිදුකරන හෝ සිදුකර ඇති වැරැද්දේ බරපතළකම මත දුරකථන ඇමතුම්වලට එහා ගොස් නීතිය ක්‍රියාත්මක කිරීම  (නඩු දැමීම, සහ අනෙකුත් ක්‍රියාමර්ග) සිදු කරනු ලබයි.
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභ පනතේ වෙළෙඳපොළ අක්‍රමිකතා පෙන්වා දී ඇත්තේ වෙළෙඳපොළ විෂමාචාර වශයෙන් වන අතර ඒ යටතේ කොටස් වෙළෙඳපොළෙහි දැකිය හැකි ප්‍රධාන අක්‍රමිකතා වර්ග දෙකක් ඇත. එනම් තහනම් හැසිරීම් සහ අභ්‍යන්තරික තැනැත්තන් විසින් ගනුදෙනු කිරිමයි. තහනම් හැසිරීම් ආකාර කිහිපයක් දැකගත හැකි අතර ව්‍යාජ වෙ‍ළෙඳාම් කිරීමේ සහ වෙ‍ළෙඳපොළ මිල ගණන් කෘත්‍රිම උස් පහත් කිරීමේ ගනුදෙනු, කොටස් වෙ‍ළෙඳපොළ අයුතු ලෙස හැසිරවීම, අසත්‍ය හෝ නොමඟ යවනසුලු‍ ප්‍රකාශ, සුරැකුම්පත් ගනුදෙනු කිරීමට වංචනික ලෙස තැනැත්තන් පෙළඹවීම සහ අයුතු ලෙස හැසිවීමේ සහ රැවටිලි සහගත උපක්‍රම භාවිතය  ඊට අයත් වේ. මිල සංවේදී, මහජනයා අතර නැති තොරතුරු මත පදනම්ව ඒ තොරතුරු ඇති පුද්ගලයන් ලාබ ලබා ගැනීමට හෝ අලාභ අවම කර ගැනීමට කොටස් ගනුදෙනු කිරීම අභ්‍යන්තරික තැනැත්තන් විසින් සිදු කරන ගනුදෙනු ලෙස හැඳින්වේ. එසේ මිල සංවේදී සහ ප්‍රකාශිත තොරතුරු නොවන බව දැන දැනම කොටස් ගනුදෙනු කරමින් සුරැකුම්පත් මිලට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි නම් එයද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ වරදකි. 
රෙකොඩ් බිඳිමින් ඉහළ යන කොටස් වෙළෙඳපොළක් තුළ සමහර ආයෝජකයෝ ඉහතින් සඳහන් කළ ආකාරයේ අක්‍රමිකතා සිදු කිරීමට පෙළඹෙති. නැණවත්ව ආයෝජනය කරන්නන් එවැනි ක්‍රියාවලට යොමු නොවන අතර අන් අය ඒ සඳහා පොළඹ වන්නේද නැත. කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන ඕනෑම අයකු මෙවැනි වැරැදි පිළිබඳව හොඳින් අවබෝධකර ගෙන ඉන් වැළකී ආයෝජනය කිරීම ඉතා වැදගත් වේ. 
වර්තමානයේ කොටස් වෙළෙඳපොළේ මෙම ඉහළ යාම සමග මෙවැනි දේ ඇතිවිය හැකි අතර තාක්ෂණයේ දියුණුවත්, ශක්තිමත් නීති රීති මගිනුත් කොටස් වෙළෙඳපොළ සාධාරණ සහ පාරදෘෂ්‍ය ලෙස පවත්වාගෙන යාම ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ, කොළඹ කොටස් හුවමාරුවේ, කොටස් තැරැව්කාර ආයතනවල සහ ආයෝජකයන්ගේ වගකීමකි. 



අදහස් (0)

කොටස් වෙළෙඳපොළ රෙකෝඩ් කැඩීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16921 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site