
ශ්‍රී ලංකාවේ කටුපොල් හෙවත් ඔයිල් පාම් වගාව වසර ගණනාවක් පුරා දැඩි මහජන සංවාදයකට ලක්වූ කෘෂිකාර්මික ක්ෂේත්‍රයකි. විශේෂයෙන්ම කටුපොල් වගාව පස විනාශ කරන බවට නගන චෝදනාවත් පාංශු ඛාදනය වේගවත් කරනවන බවත්, වගා බිම්වල යටි වෘක්ෂලතා ජෛව විවිධත්වය අඩු කරයි යනුවෙන් පවතින මිථ්‍යා මත සහ සහ වැවිලි පරිසර පද්ධතිවල සමස්ත පාරිසරික සෞඛ්‍යය දුර්වල කරයි යන චෝදනා බොහෝවිට ඉදිරිපත් වේ.
විද්‍යාත්මක පදනමකින් තොර වූවද සමාජගතව පවතින මෙවැනි මතවාද සරලව ප්‍රතික්ෂේප කළ නොහැක. එයට හේතුව පස යනු හුදෙක් වගාවට අවශ්‍ය මාධ්‍යයක් පමණක් නොව, ජල පාලනය, පෝෂක චක්‍රීකරණය, ජෛව විවිධත්වය රැකගැනීම සහ දිගුකාලීන කෘෂිකාර්මික ස්ථායීතාව සඳහා මූලික පදනම වන බැවිනි.
එහෙත්, එම කරුණු පිළිබඳව තීරණ ගැනීමේදී මහජන මතය හෝ අනුමාන මත පදනම් වීම ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන් කටුපොල් වැනි ආර්ථික, පාරිසරික සහ ප්‍රතිපත්තිමය වැදගත්කමක් ඇති වගාවක් සම්බන්ධයෙන් සාධාරණ නිගමනයකට පැමිණිය යුත්තේ විද්‍යාත්මක සාක්ෂි, ක්ෂේත්‍ර අධ්‍යයන සහ මැනිය හැකි දත්ත මත පදනම්වය.
ශ්‍රී ලංකාවේ කටුපොල් වගාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් වන්නේ, එය ස්වාභාවික වනාන්තර විනාශ කරමින් හෝ නව වනාන්තර භූමි පරිවර්තනය කරමින් ස්ථාපිත කර ඇති වගාවක් නොවීමයි. වර්තමානයේ මෙරට කටුපොල් වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 10,400ක් පමණ වන අතර, එය ප්‍රධාන වශයෙන් තෙත් කලාපයේ පහත් බිම් ප්‍රදේශවලට සීමා වී ඇත. එම භූමි ප්‍රදේශ බහුතරයක් පෙරදී රබර් හෝ තේ වගාවට භාවිත කළ, පසුව අඩු ඵලදායී හෝ පරිහානියට ලක්වූ වගා භූමි ප්‍රදේශ වේ.
කටුපොල් වගා කෙරෙන මෙම තෙත් කලාප පහත් බිම් ප්‍රදේශවල පස් වර්ග බහුලවම රතු-කහ පොඩ්සොලික් පස් ලෙස හඳුනාගත හැකි අතර, ඒවා ජාත්‍යන්තර පස් වර්ගීකරණය අනුව Ultisols කාණ්ඩයට අයත් වේ. මෙම පස් ස්වභාවයෙන්ම අම්ලතාවට ලක්වූ, දැඩිව කාලගුණිකරණයට භාජන වූ සහ පෝෂක අගයෙන් සාපේක්ෂව අඩු පස් වේ. එමෙන්ම, ඒවායේ කාබනික කාබන් ප්‍රමාණය, ලබාගත හැකි පෝෂක මට්ටම සහ කැටායන හුවමාරු ධාරිතාවද සාමාන්‍යයෙන් අඩුය.
කෙසේ වෙතත්, මෙම ලක්ෂණ කටුපොල් වගාවට පමණක් සීමා වූ ගැටලු නොවේ. ශ්‍රී ලංකාවේ තෙත් කලාප පහත් බිම්වල වතු කෘෂිකර්මාන්තය වසර සියයකට වැඩි කාලයක් පුරා සිදු වී ඇති අතර, එම භූමි පද්ධතිවලට මෙම පස් ලක්ෂණ ස්වභාවයෙන්ම අයත් වේ. එබැවින් එම ප්‍රදේශවල පවතින සියලු පස් සම්බන්ධ සීමා කටුපොල් වගාවට පමණක් ආරෝපණය කිරීම විද්‍යාත්මකව නිවැරදි නොවේ.
වැදගත් කරුණ වන්නේ පස් සම්බන්ධ ගැටලු බොහෝවිට වගා වර්ගයට පමණක් සම්බන්ධ නොව, භූමි කළමනාකරණ ක්‍රමවේදවලට සෘජුව සම්බන්ධ වීමයි. නිසි පස් හා ජල සංරක්ෂණ ක්‍රම, ආවරණ වගා, බෑවුම් ආරක්ෂණය, කාබනික ද්‍රව්‍ය නැවත පසට ලබාදීම සහ විද්‍යාත්මක පොහොර කළමනාකරණය වැනි ක්‍රියාමාර්ග හරහා මෙවැනි ගැටලු සැලකිය යුතු ලෙස අවම කළ හැකිය. එබැවින් කටුපොල් පිළිබඳ සාකච්ඡාව පදනම් විය යුත්තේ පූර්ව මතයන් මත නොව, විද්‍යාත්මක සාක්ෂි සහ වගකිවයුතු භූමි කළමනාකරණ මූලධර්ම මතය.
කටුපොල් වගාව සම්බන්ධයෙන් බහුලව ඉදිරිපත් වන තවත් වැරදි මතයක් වන්නේ, එය ස්වභාවයෙන්ම දැඩි පාංශු ඛාදනයකට හේතු වන බවයි. එහෙත් පාංශු ඛාදනය තීරණය වන්නේ වගා වර්ගය මත පමණක් නොව, භූමියේ බෑවුම, වර්ෂා තීව්‍රතාව, පස ආවරණය, මාර්ග හා ජලනාලිකා පද්ධති, අස්වනු නෙළීමේ මාර්ග සහ වතු මට්ටමේ සංරක්ෂණ ක්‍රමවේද වැනි සාධක රැසක් මතය.
නිසි ලෙස කළමනාකරණය නොකළ වතු පද්ධතියක ඕනෑම වගාවක් පාංශු ඛාදනයට දායක විය හැකිය. රබර් වගාව පවා ආරම්භක අවධියේදී පස නිරාවරණය වී තිබේ නම් ඉහළ පස් තට්ටුව සෝදායෑමක් නිරීක්ෂණය කල හැක. එහෙත් නිසි කළමනාකරණයක් යටතේ එම අවදානම අඩු කළ හැක. එම මූලධර්මය ඔයිල් පාම් වගාවටද සමානව අදාළ වේ.
ශ්‍රී ලංකාවේ කටුපොල් යටතේ පාංශු ඛාදනය පිළිබඳ දිගුකාලීන දේශීය ක්ෂේත්‍ර දත්ත තවමත් සීමිත වුවද, ජාත්‍යන්තර සාක්ෂි සහ දේශීය සැසඳීම් පෙන්වා දෙන්නේ නිසි කළමනාකරණ ක්‍රමවේද යටතේ එය පාලනය කළ හැකි බවයි.
එසේම, කටුපොල් වගාවේ තවත් වැදගත් වාසියක් වන්නේ කාබනික ද්‍රව්‍ය කළමනාකරණයට ඇති හැකියාවයි. කපා ඉවත් කරන අතු සහ කර්මාන්තශාලාවලින් ලැබෙන Empty Fruit Bunches වැනි ජෛව ස්කන්ධ නැවත වගා බිමට ලබාදිය හැක. ඒවා නයිට්‍රජන්, පොස්ෆරස්, පොටෑසියම් සහ මැග්නීසියම් වැනි පෝෂක අඩංගු ද්‍රව්‍ය වන අතර, පසෙහි කාබනික කාබන්, තෙතමනය රඳවා ගැනීම, පෝෂක චක්‍රීකරණය, පස් ව්‍යුහය සහ ක්ෂුද්‍රජීව ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරයි.
කටුපොල් වගාව වෙනත් සියලු වතු වගාවලට වඩා අධික රසායනික පොහොර ප්‍රමාණයක් අවශ්‍ය කරන බවද බහුලව පැතිර ඇති මතයකි. විද්‍යාත්මක සැසඳීම්වලින් එය වඩා සමබර ලෙස තේරුම් ගත යුතු බව පෙනේ. ඒකක භූමි ප්‍රමාණයකට සැලකූ විට, කටුපොල් රබර්වලට වඩා වැඩි පොහොර අවශ්‍ය කළ හැකි නමුත්, එහි අවශ්‍යතාව පොල් වගාවට සමීප වන අතර, ප්‍රධාන පෝෂක, විශේෂයෙන් නයිට්‍රජන් සම්බන්ධයෙන් තේ වගාවට වඩා අඩු මට්ටමක පවතී. එබැවින් කටුපොල් වගාව අනෙකුත් සියලු වගාවලට වඩා කිහිප ගුණයකින් වැඩි පොහොර භාවිත කරයි යන චෝදනාවට ප්‍රමාණවත් සාක්ෂි නොමැත.
එසේම, “කටුපොල් ශාක යට කිසිවක් වැවෙන්නේ නැත” යන මතයද සාක්ෂි මගින් තහවුරු නොවේ. නාකියාදෙනිය සහ සපුමල්කන්ද වතු ආශ්‍රිතව සිදු කළ සසඳීම්වලින්, කටුපොල් සහ රබර් වගා යටතේ සෙවණට හා තෙතමනයට හුරු යටි වෘක්ෂලතා විවිධත්වයක් පවතින බව පෙන්වා ඇත. ඇතැම් අධ්‍යයනවලදී රබර් වගාවලට සාපේක්ෂව ඔයිල් පාම් වගා යටතේ බිම් පණුවන්ගේ ඝනත්වය වැඩි බවද වාර්තා වී ඇත.
කෙසේ වෙතත්, වාණිජ වගා කළමනාකරණයේදී යටි වෘක්ෂලතා බොහෝවිට “වල් පැළෑටි” ලෙස සලකා කපා ඉවත් කිරීම හෝ වල්නාශක භාවිතයෙන් පාලනය කිරීම සිදු වේ. එබැවින් එහි පවතින ජෛව විවිධත්වය වතු මට්ටමේ කළමනාකරණ ක්‍රමවේද මත බෙහෙවින් රඳා පවතී. රබර් සහ පොල් වගාවල මෙන්, කටුපොල් වගාවේද ආරම්භක අවධියේ මෙන්ම පසුකාලීනවද අතුරු වගා ක්‍රම ක්‍රියාත්මක කළ හැකිය.
කටුපොල් වගාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන තවත් ප්‍රධාන චෝදනාවක් වන්නේ, එය අධික ජල ප්‍රමාණයක් භාවිත කරමින් වගා ප්‍රදේශවල ළිං සහ ජල මාර්ග වියළීමට හේතු වන බවයි. එහෙත් එවැනි චෝදනාවක් තහවුරු කරන ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි දැනට නොමැත.
තනි ගසක් පදනම් කරගත් විට කටුපොල් ශාකයකට දිනකට ලීටර් 249ක් පමණ ජලය අවශ්‍ය වන අතර, පොල් ගසකට ලීටර් 130ක් සහ රබර් ගසකට ලීටර් 63ක් පමණ අවශ්‍ය වේ. එහෙත් විද්‍යාත්මකව වඩාත් යෝග්‍ය සැසඳීම වන්නේ ඒකක භූමි ප්‍රමාණයක් අනුව ජල භාවිතය ඇගයීමයි. කටුපොල් හෙක්ටයාරයකට ගස් 140ක් පමණත්, රබර් හෙක්ටයාරයකට ගස් 520ක් පමණත් සිටින බැවින්, හෙක්ටයාරයකට දිනපතා ජල භාවිතය සැලකූ විට කටුපොල් සහ රබර් අතර විශාල වෙනසක් නොපෙනේ.
කටුපොල් වගාව නිර්දේශ කරනු ලබන්නේ වාර්ෂිකව මිලිමීටර් 2,500කට වැඩි වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශ සඳහා පමණි. එම ප්‍රදේශවල වසරකට ඇති වන වැසි දින ගණන 150ත් 200ත් අතර ප්‍රමාණයක් පවතින අතර, එවැනි දිනවල ගස්වල ජල අවශෝෂණයද අඩු වේ. ඒ අනුව, ඒකක භූමි ප්‍රමාණයකට ලැබෙන සමස්ත වාර්ෂික වර්ෂාපතනයෙන් කටුපොල් භාවිතා කරන්නේ සියයට 35කට අඩු ප්‍රමාණයක් බව දැක්විය හැක.
මෙම සමස්ත කරුණු සලකා බැලූ විට, විද්‍යාත්මක පදනම පැහැදිලිය. කටුපොල් වගාව ස්වභාවයෙන්ම පස විනාශ කරන, යටි වෘක්ෂලතා ජෛව විවිධත්වය අඩු කරන හෝ අනෙකුත් වතු වගාවලට සාපේක්ෂව ජල හිඟයක් ඇති කරන වගාවක් ලෙස සලකා බැලීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැත. නිසි කළමනාකරණයක් නොමැති කටුපොල් වගාව පාරිසරික ගැටලු ඇති කළ හැකි නමුත්, එය තේ, රබර් හෝ පොල් වගාවටද සමානව අදාළ සත්‍යයකි.
අවසානයේ වැදගත් වන්නේ වගාව කුමක්ද යන්නට වඩා, එය කළමනාකරණය කරන ආකාරයයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ඔයිල් පාම් ඇතුළු සියලුම වතු වගා පද්ධති විද්‍යාත්මකව ඇගයීමට ලක් කරන වගකිවයුතු ප්‍රතිපත්ති රාමුවකි. එහිදී පාංශු ඛාදනය, කාබනික කාබන්, ජල අවශෝෂණය, පෝෂක චක්‍රීකරණය සහ ජෛව විවිධත්වය පිළිබඳ දේශීය පර්‌යේෂණ ශක්තිමත් කළ යුතුය. එසේම ආවරණ වගා, කාබනික ද්‍රව්‍ය නැවත භාවිතය, බෑවුම් ආරක්ෂණය, ඉලක්කගත පොහොර භාවිතය සහ පස් නිරීක්ෂණය වැනි හොඳ කෘෂිකාර්මික ක්‍රමවේද අනිවාර්ය කළ යුතුය.
එබැවින් ඔයිල් පාම් වගාව අඳුරෙන් ප්‍රවර්ධනය කළ යුතුද නැතහොත් සාක්ෂි නොමැතිව ප්‍රතික්ෂේප කළ යුතුද යන්න නොවේ මෙහි මූලික ප්‍රශ්නය. එය විද්‍යාත්මකව ඇගයී, වගකීමෙන් කළමනාකරණය කර, නිසි නියාමනයක් යටතේ පවත්වාගෙන යා හැකිද යන්නයි. සාක්ෂි සහ හොඳ කෘෂිකාර්මික ක්‍රමවේද මත පදනම් වූ විට, ඔයිල් පාම් ශ්‍රී ලංකාවේ වඩාත් ඵලදායී සහ සස්ථිර වතු කෘෂිකර්මාන්තයක කොටසක් විය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd