
- ඩොලර් මිලියන 03ක කොරියානු ආයෝජනයක්
- වසරකට ඩොලර් මිලියන 2-3 අතර විදේශ විනිමය ආදායමක්
- සියයට 100 ක්ම අපනයනය
- වසරකට නිෂ්පාදන මෙට්‍රික් ටොන් 30-35ක පමණ අපනයනයක්
- යෙසෝල් ලංකා සමාගමෙන් කුකුළු අවශේෂ සඳහාද තවත් මෙවැනිම ව්‍යාපෘතියක්
ධීවර කර්මාන්තයේදී ඉවතලන මත්ස්‍ය අවශේෂ කොටස් (Fish Waste) උපයෝගී කරගනිමින් මෙරටට විදේශ විනිමය රැගෙන එන අපූරු ව්‍යාපෘතියක් පිළිබඳව පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වේ. පරිසර දූෂණයට තිරසාර විසඳුමක් ලබා දෙමින්, මෙරට ආර්ථිකයට ශක්තියක් වන මෙම ව්‍යාපාරයේ නියමුවා වන්නේ ව්‍යවසායක විජිත කුමාර රාජපක්ෂ මහතාය.
විජිත කුමාර රාජපක්ෂ මහතා මීට වසර කිහිපයකට පෙර දකුණු කොරියාව බලා පිටත්ව යන්නේ නුපුහුණු විදේශ ශ්‍රමිකයකු ලෙසය. එහිදී ඔහුට දකුණු කොරියාවේ සත්ව ආහාර නිෂ්පාදනය කරන මහා පරිමාණ සමාගමක් වන ‘හන්ටෙක් සමූහ ව්‍යාපාරය’ (Hantech Group) යටතේ සේවය කිරීමට අවස්ථාව ලැබුණි. කර්මාන්තශාලා 43ක් සහ විශාල පරිමාණයේ නිෂ්පාදනාගාර 15ක් හිමි මෙම සමාගම වියට්නාමය, ඉන්දුනීසියාව සහ ඉන්දියාව වැනි රටවලද තම ශාඛා පවත්වාගෙන යයි.
ලොව පුරා මත්ස්‍ය සහ ඉස්සන් වගා ගොවිපොළවල් සඳහා අවශ්‍ය සත්ව ආහාර නිෂ්පාදනය කරන මෙම සමාගම, ඒ සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන්නේ ඉවතලන මත්ස්‍ය අවශේෂ කොටස්ය. වසර 10ක සේවා කාලය තුළ මෙම ක්‍රියාවලිය මැනවින් අධ්‍යයනය කළ රාජපක්ෂ මහතා, දකුණු කොරියාවෙන් සමුගෙන මෙරටට පැමිණෙන්නේ නව තාක්ෂණය සහ විදේශ ආයෝජන ද දෑතට ගෙන, තම මව්බිමේද මෙවැනි කර්මාන්තයක් ආරම්භ කිරීමේ දැඩි අධිෂ්ඨානයෙනි.
එම වකවානුව වන විට ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ආශ්‍රිතව ඉවතලන මත්ස්‍ය අවශේෂ හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවෙමින් පැවතුණි. විශේෂයෙන්ම මීගමුව වැනි ප්‍රදේශවල මෙම අපද්‍රව්‍ය ඍජුවම මුහුදට බැහැර කිරීමත්, කරවල නිෂ්පාදනයේදී ඉවතලන කොටස් විධිමත් ක්‍රමවේදයකින් තොරව බැහැර කිරීමත් නිසා වෙරළ තීරය දැඩි ලෙස දූෂණය විය. එසේම, රට පුරා පවතින මත්ස්‍ය වෙළෙඳපොළවලින් එකතු වන මෙම අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පළාත් පාලන ආයතනවලටද විශාල පිරිවැයක් දැරීමට සිදු විය.
මෙම සමස්ත තත්වය ගැඹුරින් අධ්‍යයනය කළ විජිත කුමාර රාජපක්ෂ මහතා, දිවයින පුරා ඉවතලන මත්ස්‍ය කොටස් එකතු කර, මත්ස්‍ය ආහාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කර සියයට 100ක්ම අපනයනය කිරීමේ ව්‍යාපෘති වාර්තාවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට (BOI) ඉදිරිපත් කළේය. ඒ සඳහා කොරියාවේ නිෂ්පාදිත ස්වයංක්‍රීය යන්ත්‍ර සූත්‍ර මෙරටට ගෙන්වීමටද ආයෝජන මණ්ඩලය අවසරය අපේක්ෂා කළේය.
මෙම ව්‍යාපෘති යෝජනාව මුලින්ම ලැබුණු අවස්ථාවේදීම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ තමරි බටුවන්තුඩාව මහත්මිය එහි ඇති වැදගත්කම වටහා ගත්තාය. මේ තුළින් රටට අත්වන විශාල ආර්ථික හා පාරිසරික වාසි සැලකිල්ලට ගනිමින් ඇය ඊට කඩිනමින් අනුමැතිය ලබා දීමට කටයුතු කළාය. එම තීරණයට පදනම් වූ ප්‍රධාන කරුණු මෙසේය
■ පාරිසරික විසඳුම්: අනාගතයේදී බරපතළ විය හැකිව තිබූ පාරිසරික ගැටලුවකට සාර්ථක විසඳුමක් ලැබීම.
■ විදේශ විනිමය: රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය (ඩොලර්) ඉපයීමට හැකි වීම.
■ රැකියා උත්පාදනය: සෘජු හා වක්‍ර රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහි වීම.
■ අතිරේක ආදායම්: ධීවරයන්ට සහ මත්ස්‍ය නිෂ්පාදකයන්ට තම අපද්‍රව්‍ය වෙනුවෙන් අතිරේක ආදායමක් හිමි වීම.
මේ අනුව, පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ අක්කර 50ක භූමි භාගයකියෙසෝල් ලංකා’ (Yesol Lanka) සමාගම ස්ථාපිත කෙරුණි. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3ක මුදලක් ආයෝජනය කර ඇත. වර්තමානය වන විට එහි සෘජු සේවක සේවිකාවන් 45 දෙනකු සේවය කරන අතර, වක්‍ර රැකියා රැසක්ද උත්පාදනය කර තිබේ.
කර්මාන්තශාලාවට දිනකට මත්ස්‍ය අවශේෂ මෙට්‍රික් ටොන් 100ක් සැකසීමේ හැකියාව පවතී. කෙසේ වුවද, දැනට දිවයින පුරා එකතු වන්නේ දිනකට මෙට්‍රික් ටොන් 50-70ත් අතර ප්‍රමාණයකි. මෙම මත්ස්‍ය අවශේෂ වෙනුවෙන් ධීවරයන්ට කිලෝග්‍රෑමයකට රුපියල් 20-30ත් අතර මුදලක් ගෙවනු ලැබේ.
සියලු නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කෙරෙන අතර, ඒ සඳහා කර්මාන්තශාලාව තුළම නවීන රසායනාගාර පහසුකම් ස්ථාපිත කර ඇත. එහිදී සෑම නිෂ්පාදන තොගයක්ම නිරන්තර පරීක්ෂාවට ලක් කෙරේ. මෙහි ඇති සුවිශේෂී යන්ත්‍ර සූත්‍ර මගින් එකවර මත්ස්‍ය අපද්‍රව්‍ය ටොන් 15ක් සෙල්සියස් අංශක 120ක අධික උෂ්ණත්වයක් යටතේ සකස් කිරීමේ හැකියාව පවතී.
ලොව ප්‍රමුඛතම ඉස්සන් වගා සමාගමක් වන වියට්නාමයේ ‘CP’ සමාගමද සිය නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස යෙසෝල් ලංකා සමාගමේ නිෂ්පාදන මිලදී ගනී.
යෙසෝල් ලංකා සමාගම වාර්ෂිකව මෙට්‍රික් ටොන් 30ත් 35ත් අතර නිෂ්පාදන ප්‍රමාණයක් අපනයනය කරන අතර, ඒ තුළින් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 70-80ත් අතර දැවැන්ත වාර්ෂික ආදායමක් උපයා දෙයි. ඔවුන් ප්‍රධාන වශයෙන් මත්ස්‍ය ආහාර සඳහා භාවිත කරන කුඩු (Fish Meal), තෙල් (Fish Oil) සහ තලප (Fish Paste) අපනයනය කරයි.
එසේම, අපනයන කටයුතුවලදී පරිසරයට හානිකර ද්‍රව්‍ය වෙනුවට, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි පරිසර හිතකාමී අයි.බී.සී. පෙට්ටි (IBC Boxes) සහ ප්ලාස්ටික් පැලට් භාවිත කිරීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය සියයට 100ක්ම හරිත ව්‍යාපෘතියක් බවට පත්ව ඇත.
විජිත කුමාර රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටින්නේ සම්ප්‍රදායික රාමුවෙන් මිදී ”වෙනස් විදිහට සිතන ලෙසයි”. අභියෝග භාර ගනිමින්, රටට විදේශ විනිමය උපයා දිය හැකි මෙවැනි නව්‍ය ව්‍යවසායකත්ව අදහස් කරා යොමුවන ලෙස ඔහු වර්තමාන තරුණ පරපුරට ආරාධනා කර සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd