2026 වසරේදී ගෝලීය භාණ්ඩ වෙළෙඳාම සියයට 1.9 දක්වා තියුණු ලෙස පහත බසිනු ඇතැයි ලෝක වෙළෙඳ සංවිධානය පුරෝථකනය කරන පසුබිමක, ආර්ථික සන්ධාන යනු තවදුරටත් විකල්පයක් නොව වර්ධනය සහ ඔරොත්තු දීමේ හැකියාව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය දෙයකි. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතුවලට මතුව තිබෙන බාධා, ආරක්ෂණවාදී පියවර දැඩි කිරීම්, භූ දේශපාලනික බෙදීම් සහ ව්‍යාපාරික විශ්වාසය පහළ යාම යනාදී කරුණු ගෝලීය වෙළෙඳාම මන්දගාමී වීමෙන් පිළිබිඹු වේ.
මෙම සන්දර්භය තුළ, දකුණු ආසියාව සාපේක්ෂ වශයෙන් දීප්තිමත් ස්ථානයක පසු වේ. ඉන්දියාවේ වෙළෙඳාම වාර්තාගත ඉහළම අගයක් සටහන් කර ඇති අතර, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය සහ ඕ‍ස්ට්‍රේලියාව ඇතුළු හවුල්කාර රාජ්‍ය සමග පුළුල් වෙළෙඳ ගිවිසුම් රැසක් අලු‍තෙන් ඇති කර ගැනීම මේ සඳහා ඉවහල් වී ඇත. මේ අතර ශ්‍රී ලංකාවට 2022 වර්ෂයේ මුහුණ දුන් ණය අර්බුදයෙන් යථා තත්වයට පත් වීම ශක්තිමත් කිරීම සඳහා කඩිනමින් වෙළෙඳ සහ විදේශ විනිමය ඉපැයීම් පුළුල් කිරීම අවශ්‍ය වේ. ඉන්දියා-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට ගිවිසුමට (ISFTA)  වසර 25ක් සපිරෙන අතර, එය ප්‍රතිලාභ රැසක් ගෙන දී ඇතත් වත්මන් ගෝලීය ආර්ථිකය තුළ අවශ්‍යතා සපුරාලීමට තවදුරටත් සමත් නොවේ. 
2000 වසරේදී ක්‍රියාවට නංවන ලද ඉන්දියා - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම දකුණු ආසියාවේ පළමු ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම වන අතර, එය කලාපය තුළ පැවති අභ්‍යන්තරයට යොමු වූ වෙළෙඳ රෙජිමයන්ගෙන් පැහැදිලි ලෙස වෙනස් වූ පියවරක් විය. ආර්ථික ප්‍රමාණයේ සහ කර්මාන්ත ධාරිතාවේ වෙනස්කම් පිළිබිඹු කරමින් අසමමිතික බදු ලිබරල්කරණය හරහා භාණ්ඩ සඳහා වෙළෙඳපොළ ප්‍රවේශය එමගින් ලබා දෙන ලදී. ඉන්දියාව වසර තුනක් තුළ ශ්‍රී ලාංකික නිෂ්පාදන බොහෝමයක් මත බදු ලිබරල්කරණය කළ අතර, සං‍වේදී ක්ෂේත්‍ර ආරක්ෂා කිරීම සඳහා බදු සහන හිමි නොවන පුළුල් ලැයිස්තු සමගින් ඉන්දියානු නිෂ්පාදන මත බදු ලිබරල්කරණය කිරීම සඳහා වසර අටක් දක්වා කාලයක් ශ්‍රී ලංකාවට ලබා දෙන ලදී. වර්තමානයේදී ද ඉන්දියාව නිෂ්පාදන කාණ්ඩ 429ක් නිදහස් වෙළෙඳ ගිවිසුමට ඇතුළත් කර නැති අතර, ශ්‍රී ලංකාව නිෂ්පාදන කාණ්ඩ 1,100කට අධික සංඛ්‍යාවක් නිදහස් වෙළෙඳ ගිවිසුමට ඇතුළත් කර නොමැත. මෙය දෙරට ආරථික වඩා ගැඹුරින් ඒකාබද්ධ වීම සීමා කර ඇත. 
මෙම සීමා මධ්‍යයේ පවා ඉන්දියා - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සැලකිය යුතු ආර්ථික බලපෑමකින් යුක්ත වී ඇත. ද්විපාර්ශ්වික වෙළෙඳාම දස ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් පුළුල් වෙමින් 2025 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 7.2ක් දක්වා වර්ධනය වී ඇත. මේ වන විට ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ සහකරුවා වන අතර, ශ්‍රී ලංකාව දකුණු ආසියාව තුළ ඉන්දියාවේ ප්‍රමුඛතම හවුල්කරුවෙකි. වෙළෙඳාම ද මූලික භාණ්ඩයන්ගෙන් ඔබ්බට විවිධාංගීකරණය වී ඇත. ඉන්දියාවේ අපනයනවලට දැන් පිරිපහදු කළ පෙට්‍රෝලියම්, ඖෂධ, රෙදි පිළි, වාහන සහ සකසන ලද ආහාර ඇතුළත් වන අතර, ශ්‍රී ලංකාවේ අපනයනවලට කුළුබඩු, බෝට්ටු සහ සත්ව ආහාර මෙන්ම පාරිභෝගික ආහාර නිෂ්පාදන ද ඇතුළත් වේ. 
ආයෝජනය ඉන්දියා - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් බැහැරව පවතින කාරණයක් වුවත්, ව්‍යාපාරික විශ්වාසය ඉහළ යාම සහ ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවය ශක්තිමත් වීම ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු ලෙස ඉන්දීය ආයෝජන දිරි ගන්වා ඇත. සමුච්චිත ඉන්දියානු සෘජු විදේශ ආයෝජන 2025 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක් දක්වා වර්ධනය වී ඇති අතර,  IOC  සමාගමේ දිවයින පුරා විසිර තිබෙන ඉන්ධන පිරවුම්හල් ජාලය, අශෝක් ලේලන්ඩ් සමාගමේ නිෂ්පාදන මෙහෙයුම්, අදානි පෝට්ස් සමාගම සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් අතර ඒකාබද්ධ ව්‍යාපාරය, CEAT  ඉන්ඩියා සමාගම විසින් ශ්‍රී ලංකාවේ මිචෙලින් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්පත් කර ගැනීම සහ කොළඹ ස්ථාපනය කරන ලද සුඛෝපභොගී  ITC  හෝටලය වැනි ව්‍යාපෘති මේ සඳහා විශාල දායකත්වයක් ලබා දී ඇත. බ්‍රැන්ඩික්ස් සහ  MAS  හෝල්ඩින්ග්ස් ඇතුළු ශ්‍රී ලාංකික සමාගම් ද එලෙසම ඉන්දියාව තුළ සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර ඇත.
සංචාරක කර්මාන්තය මෙහි ප්‍රතිලාභ හිමි වන තවත් ක්ෂේත්‍රයකි. 2025 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි මුළු සංචාරකයන් පිරිසෙන් සියයට 23ක් ඉන්දියාවෙන් පැමිණි සංචාරකයන් වූ අතර, ශක්තිමත් ගුවන් සබඳතා, තරගකාරී මිල ගණන් යට‍තේ පිරිනමන ආගන්තුක සත්කාර සේවා සහ සරල කරන ලද වීසා ක්‍රම‍වේද යනාදිය එයට හේතු වී ඇත. ගෝලීය සංචරණ බාධාවලට හේතු වී ඇති බටහිර ආසියාවේ පවතින අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 40ක්‍ට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් පැමිණෙන අතර, මේ තුළින් සංචාරක ක්ෂේත්‍රයට බෙහෙවින් අවැසි ස්ථාවරත්වය ලබා දෙයි. 
කෙසේ වෙතත්, ගෝලීය වෙළෙඳ පද්ධතිය ඉන්දියා - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සාකච්ඡා කරන ලද කාලයට සාපේක්ෂව මූලික වශයෙන් වෙනස් වී ඇත. ගෝලීය වටිනාකම් දාම තුළ අතරමැදි භාණ්ඩ සහ සේවා වෙළෙඳාම ආසන්න වශයෙන් දැන් ලෝක වෙළෙඳාමෙන් අඩකට දායකත්වය ලබා දෙයි. ඉන්දියාව විශාල දේශීය වෙළෙඳපොළක් සමගින් කුසලතාව සහිත ශ්‍රමය එක් කරමින් චීනයට අමතරව නිෂ්පාදන පුළුල් කළ හැකි ප්‍රධාන රටක් (China+1)  ලෙස පෙරට පැමිණ තිබේ. ඉන්දියාව සිය නිෂ්පාදන ධාරිතාව ද වේගයෙන් ඉහළ නංවා ගනිමින් සිටියි. ව්‍යාපාර අවදානම අවම කරගැනීමේ ක්‍රමවේද ද දැනටමත් නිෂ්පාදන ජාලයන් යළි හැඩගස්වමින් තිබෙන අතර චෙන්නායි සහ ඒ අවට දිස්ත්‍රික්ක  iPhone අවසන් එකළස් කිරීම, පරීක්ෂා කිරීම සහ ඇසුරුම් මෙහෙයුම් සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් කරමින් ඇපල් සමාගම  iPhone  එකළස් කිරීමේ කර්මාන්ත ශාලාව සඳහා ඉන්දියාවට යොමු වීම මේ සඳහා උදාහරණයකි. 
ශ්‍රී ලංකාව ඉන්දියාවේ සැපයුම්දාම පුළුල් වීමෙන් අර්ථාන්විත ලෙස ප්‍රතිලාභ ලබා ගැනීමට නම්, ඉන්දියා - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම නවීකරණය විය යුතුය. නිෂ්පාදිත රට පිළිබඳ නීති රීති සරල අගය එකතු කළ නිර්ණායකවල සිට ගෝලීය නිෂ්පාදන ජාලයන්ට අනුකූල, නිෂ්පාදනවලට නිශ්චිත නීති රීති දක්වා යාවත්කාලීන කිරීම, කලාපීය සැපයුම්දාම ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සේවා ක්ෂේත්‍රයට අවස්ථාව ලබා දෙමින් විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය, සමුද්‍රීය ලොජිස්ටික් සේවා සහ මූල්‍ය සේවා ඇතුළු සේවා වෙළෙඳාම ලිබරල්කරණය කිරීම සහ රේගු ක්‍රියාවලි ඩිජිටල්කරණය සහ දෙරටෙහි රේගු ක්‍රියාවලි එකිනෙකට ගැළපෙන පරිදි සකස් කිරීම හරහා සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වෙළෙඳ පිරිවැය අඩු කිරීම යනාදී ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතාව හිමිවිය යුතු ප්‍රතිසංස්කරණ අතර වේ. මෙයට අමතරව, ඉන්දියා - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම තුළ හෝ ඒ හා සමගාමීව ඇති කර ගන්නා ශක්තිමත් ආ‍යෝජන ගිවිසුමක්, පුරෝකථනය කිරීමේ හැකියාව, පාරදෘශ්‍යභාවය සහ ආයෝජක ආරක්ෂාව ඇති කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. 
ඉදිරිය දෙස බැලීමේදී, ඉන්දියා - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම නවීකරණය කිරීම යන කාරණය හුදු වෙළෙඳ ගිවිසුමක් ලෙස පමණක් නොව වඩා ගැඹුරු ඉන්දියා - ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්වයක මූලික රාමුව ලෙස ද සැලකිය යුතුය. දේශපාලන කැපවීම සහ පෞද්ගලික අංශයේ සහ‍යෝගය හිමි වන්නේ නම්, ඉන්දියා - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම 2.0 (ISFTA 2.0) නීති රීති පදනම් කරගත් කලාපීය ඒකාබද්ධතාව සඳහා සහය ලබා දීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ඉන්දියාව මූලික කරගත් සැපයුම් දාම තුළ ශ්‍රී ලංකාව වඩා ශක්තිමත් ලෙස ස්ථාපිත කිරීම සඳහා ඉවහල් කර ගත හැකිය. භෞතික සහ බලශක්ති සම්බන්ධකතාව වැඩි දියුණු කිරීමේ සිට නව අපනයන සැකසුම් කලාප සහ ව්‍යාපාර-ව්‍යාපාර අතර වඩා ශක්තිමත් සබඳතා දක්වා විහිදෙන අමතර පියවර තුළින් මෙම ප්‍රතිලාභ වඩාත් ඉහළ නැංවිය හැකිය. ඉදිරි වසර කිහිපය තුළ තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමෙන් වසර 2030 වන විට ඇමරිකානු ‍ඩොලර් බිලියන 10-12ක ද්විපාර්ශ්වික වෙළෙඳාමක් අපේක්ෂාවක් නොව යථාර්ථවාදී සහ ළඟා කර ගත හැකි ඉලක්කයක් වනු ඇත. 
 
(ලිපියේ කතුවරයා මුම්බායි හි ගේට්වේ හවුස් ආයතනයේ ආර්ථිකය සහ වෙළෙඳාම පිළිබඳ වෘත්තීය සාමාජිකයකු (Professional Fellow) වන අතර, කොළඹ පිහිටි දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වේ.)