කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජන අවස්ථා පුළුල් කළ “Invest Sri Lanka” ආයෝජක සමුළු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් නගරවලදී සාර්ථකව පැවැත්වේ.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (CSE) කොළඹ පෝට් සිටි සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික නියෝජිත ආයතන සමග එක්ව සංවිධානය කළ “Invest Sri Lanka” ආයෝජක සම්මන්ත්‍රණ මාලාව ඉකුත්දා සිඩ්නි සහ මෙල්බර්න් නගරවලදී සාර්ථකව පැවැත්විණි.

සිඩ්නි හිදී අගෝස්තු 17 වන දින Sheraton Grand Sydney Hyde Park හිදී පැවති පළමු ආයෝජක සම්මන්ත්‍රණය ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමග එක්ව සංවිධානය කරන ලද අතර මෙල්බර්න්හී ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමග එක්ව අගෝස්තු 18 සහ 19 යන දිනවල Hyatt Place Melbourne, Essendon Fields සහ Novotel Melbourne Glen Waverley යන හෝටල් පරිශ්‍රවලදී ශ්‍රී ලාංකික ආයෝජක ප්‍රජාව සඳහාත්, අගෝස්තු 20 වන දින Sofitel Melbourne හෝටලයේදී ඕස්ට්‍රේලියා ආයෝජන කළමනාකරුවන් සඳහාත් මෙම ආයෝජක සම්මන්ත්‍රණ පැවැත්විණි. 

සෑම සම්මන්ත්‍රණයකටම ඕස්ට්‍රේලියාවේ වාසය කරන විදෙස්ගත ලාංකික ප්‍රජාව මෙන්ම ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ උනන්දුවක් දක්වන අනෙකුත් ආයෝජකයන් ඇතුළුව සැලකිය යුතු පිරිසක් සහභාගී වූහ. HNB සමූහය ප්ලැටිනම් හවුල්කරු ලෙස කටයුතු කළ අතර, ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සලය, ඕස්ට්‍රේලියාහී නාලන්දා ආදි ශිෂ්‍ය සංගමය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ඕස්ට්‍රේලියා පාර්ශවය සහ eLanka (PVT) Ltd ඇතුළු ආයතන සහායක හවුල්කරුවන් ලෙස එක්විය.

මෙම සමුළු මාලාවේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ආයෝජක විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ පවතින සහ මතුවෙමින් පවතින ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීම සහ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික ප්‍රජාව හා ජාත්‍යන්තර ආයෝජකයන් ලංකාවේ ආර්ථික හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය සමග සම්බන්ධ කර ගැනීමයි.

ACP Corum Pty Ltd. විධායක අධ්‍යක්ෂ චාල්ස් බ්ලේක්

සමුළු අතරතුර ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය, සාර්ව ආර්ථික ස්ථාවරත්වය, වැඩිදියුණු වෙමින් පවතින ණය ශ්‍රේණිගත කිරීමේ තත්වය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළේ වර්ධනය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම, ආයෝජක ආරක්ෂාව සහ ශක්තිමත් නියාමන රාමුවක් පවත්වාගෙන යාමේදී ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ කාර්යභාරයද අවධාරණය කෙරිණි.

කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ රේ අබේවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ වර්ධනය, වැඩිදියුණු වන ද්‍රවශීලතාව සහ විවිධාංගීකරණය වෙමින් පවතින ආයෝජන උපකරණ පිළිබඳව කරුණු දැක්වීය. විශේෂයෙන්ම ණයකර, බැඳුම්කර සහ පරිසර හිතකාමී (ESG) තිරසාර මූල්‍යකරණ අවස්ථා හරහා වෙළෙඳපොළේ විවිධාංගීකරණය සිදුවෙමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී. බී. පී. එච්. දිසාබණ්ඩාර මහතා සඳහන් කළේ, ප්‍රාග්ධන වෙළෙඳපොළ නියාමනයට අමතරව වෙළෙඳපොළ සංවර්ධනයට පහසුකම් සැලසීමද ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වැදගත් වගකීමක් බවයි. ගෝලීය ආචාරධර්ම භාවිතයන්ට අනුකූල ශක්තිමත් නියාමන පරිසරයක් හරහා ආයෝජක විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව කැපවී සිටින බවද ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ වැඩිදියුණු වෙමින් පවතින සාර්ව ආර්ථික හා ණය මූලධර්ම පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රටේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමේ තත්වය ශක්තිමත් කිරීම සඳහා අත්කරගෙන ඇති ප්‍රගතිය අවධාරණය කළේය. “ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනම ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම නැවත ඉහළ නංවා ඇති අතර, දැන් අපි ඊළඟ කාණ්ඩය වන B- මට්ටමට ළඟා වෙමින් සිටිමු. එය අර්බුදයට පෙර අප සිටි මට්ටමට සමානයි. 

මගේ නිරීක්ෂණය සහ අපේක්ෂාව වන්නේ ලංකාව දැනටමත් ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට සුදුසු තත්වයක සිටින බවයි. ඒ සඳහා අවශ්‍ය දර්ශක ප්‍රමාණවත් මට්ටමක පවතී. වැඩිදියුණු වෙමින් පවතින මූලික ආර්ථික තත්වයන් හි සම්පූර්ණ ප්‍රතිලාභය වෙළෙඳපොළේ පිළිබිඹු වීමට පෙර, මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම වැදගත් වේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වන ලදි. 

මේ අතර, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, ප්‍රතිසංස්කරණ, ආයතනික සංවර්ධනය, ඩිජිටල් පරිවර්තනය සහ නව ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කළේය. එපමණක් නොව, පුනර්ජනනීය බලශක්තිය, ලොජිස්ටික්ස්, අපනයන ඉලක්ක කරගත් කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය, Brownfield ව්‍යාපෘති සහ ව්‍යවසායක ප්‍රාග්ධනය (Venture Capital) ඇතුළු ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳවද ඔහු අවධානය යොමු කෙරිණි. දකුණු ආසියානු කලාපයේ පවතින වර්ධන අවස්ථා වෙත ප්‍රවේශ වීම සඳහා ශ්‍රී ලංකාවට වැදගත් වේදිකාවක් බවට පත්වීමේ හැකියාවද ඔහු අවධාරණය කළේය.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයන් සහ විදේශීය ආයෝජකයන්ට ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළට ප්‍රවේශ විය හැකි ආකාරය පිළිබඳ ප්‍රායෝගික තොරතුරුද සමුළුවලදී ඉදිරිපත් කෙරිණි. විශේෂයෙන් අභ්‍යන්තර ආයෝජන ගිණුම (Inward Investment Account (IIA) හරහා ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළට ප්‍රවේශ වීමේ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කෙරිණි.

ශ්‍රී ලංකාව සතු පුළුල් කලාපීය ආයෝජන හැකියාව පිළිබඳව Lynear Wealth Management හි සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය නවීන් ගුණවර්ධන මහතා අදහස් දක්වන ලද අතර විදේශයන්හි වෙසෙන සහ විදේශීය ආයෝජකයන්ට කොළඹ කොටස් හුවමාරුව වෙත ඉක්මනින් ප්‍රවේශ වීමට හැකි වන පරිදි IIA ගිණුමක්  (Inward Investment Account) විවෘත කිරීමේ ක්‍රියාවලිය සරලව සකස් කර ඇති බව සඳහන් කරමින්, Hatton National Bank PLC  හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා අදහස් දක්වන ලදි. 

සමුළු අවසන් වූයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා සහ CHEC Port City Colombo (Pvt) Ltd හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලු‍විහාරේ මහතා ඇතුළු ප්‍රධාන කථිකයන් සහභාගී වූ සජීවී විද්වත් මණ්ඩල සාකච්ඡාවකිනි. මෙම විද්වත් මණ්ඩල සාකච්ඡාව කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රාජීව බණ්ඩාරනායක මහතා විසින් මෙහෙයවන ලද අතර එම සාකච්ඡාව තුළ ලංකාවේ ආර්ථික ඉදිරි දැක්ම, ප්‍රාග්ධන වෙළෙඳපොළේ වර්ධනය සහ ආයෝජන අවස්ථා පිළිබඳව සහභාගී වූවන්ට සෘජුව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසිණි.

සිඩ්නි සහ මෙල්බර්න් නගරවල පැවති “Invest Sri Lanka”  සමුළු මගින් ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළේ වර්ධනය පිළිබඳ විශ්වාසදායක තොරතුරු ඕස්ට්‍රේලියානු ආයෝජන ප්‍රජාව සහ එහි වෙසෙන ලාංකික ප්‍රජාව වෙත සෘජුව ගෙන යාමටත්, ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික වර්ධනය සඳහා ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් වැදගත් වේදිකාවක් සපයන ලදී.

ආචාර්ය නවීන් ගුණවර්ධන - සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ, ලයිනියර් වෙල්ත් මැනේජ්මන්ට් (පුද්ගලික) සමාගම, ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන - අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර - ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, චතුරංග අබේසිංහ - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, දමිත් පල්ලෙවත්ත - කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී, හැටන් නැෂනල් බැංකුව පීඑල්සී. රේ අබේවර්ධන-අධ්‍යක්ෂ, කොළඹ කොටස් හුවමාරුව, තුල්සි අලු‍විහාරේ - නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, CHEC  පෝට් සිටි කොළඹ (පුද්ගලික) සමාගම සහ සාකච්ඡාව මෙහෙයවීම රජීව බණ්ඩාරනායක - ප්‍රධාන විධායක නිලධාරී, කොළඹ කොටස් හුවමාරුව.