නිමල කොඩිතුවක්කු 


1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි අනුමැතියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් අබලි ලෝහ නිෂ්පාදන, විවිධ ලෝහ අනුරූ සහ ලෝහ අබලි නීතිවිරෝධි ලෙස අපනයනය වැළැක්වීම සඳහා එවැනි භාණ්ඩවලට අපනයන පාලන බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කිරීම පිණිස 2026-03-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම තීරණය බලාත්මක කිරීම සඳහා 2026 අංක 05 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි, අංක 2493/03 දරන 2026-06-15 දිනැති අති විශේෂ ගැසට්‌ නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
එමෙන්ම, ජාත්‍යන්තර වෙළෙඳාම් සඳහා අනුමත ගෙවීම ක්‍රමයක් වන, පෙර ගෙවීම් ක්‍රමය යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ, ගෙවීම් ප්‍රේෂණය කරන ලද දින සිට අදාළ රෙගුලායි මඟින් නියම කර ඇති පරිදි දින 180, 365 හෝ 730ක නියමිතකාල සීමාව තුළ ශ්‍රී ලංකාවට ගෙන එන බවට තහවුරු කර ගැනීම සඳහා නව විධිවිධාන හඳුන්වා දීමට හැකි වන පරිදි 2012-01-02 දිනැති 2011 අංක 1 දරන විශේෂ ආනයන බලපත්‍ර සහ ගෙවීම් ක්‍රම රෙගුලාසි සංශෝධනය කරමින්, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ විධි විධාන යටතේ 2026 අංක 06 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි 2026-06-18 දිනැති අංක 2493/39 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.