ප්‍රථම අර්ධ වර්ෂයේ බදු පසු ලාබය සියයට 25 කින් ඉහළ ගොස් පළමු වරට රු. බිලියනය ඉක්මවයි. 


දෙවැනි කාර්තුවේ බදු පසු ලාබය සියයට 33 කින් ඉහළට


අමානා බැංකුවේ ප්‍රධාන ආදායම් කාර්යසාධනය සැලකීමේදී, 2026 පළමු අර්ධ වර්ෂය තුළ සියයට 4.3 ක ස්ථාවර මූල්‍යකරණ ආන්තිකයක් සමගින් ශුද්ධ මූල්‍යකරණ ආදායම පෙර වසරට සාපේක්ෂව සියයට 16 කින් වර්ධනය වී රු. බිලියන 4.4 ක් ලෙස වාර්තා වී තිබේ. 2026 ජූනි 30 දිනයෙන් අවසන් වූ කාර්තුවේදී බැංකුවේ ශුද්ධ මූල්‍යකරණ ආදායම රු. බිලියන 2.2 ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 18 ක වර්ධනයකි. බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායමද ශක්තිමත් වර්ධනයක් වාර්තා කරමින් 2026 පළමු මාස 6 තුළ සියයට 16 කින් ඉහළ ගොස් රු. බිලියන 0.7 ක් බවට පත් වී ඇත. 
ඒ අනුව, සමස්ත මෙහෙයුම් ආදායම දෙවැනි කාර්තුවේදී රු. බිලියන 2.8 දක්වාත්, පළමු අර්ධ වර්ෂයේදී රු. බිලියන 5.5ක් දක්වාත් ඉහළ ගිය අතර, එය පිළිවෙළින් සියයට 22 ක සහ සියයට 18 ක වර්ධනයකි. පළමු අර්ධ වර්ෂයේ සහ දෙවැනි කාර්තුවේ ශුද්ධ මෙහෙයුම් ආදායම පිළිවෙළින් සියයට 19 කින් සහ සියයට 20 කින් ඉහළ ගොස්, එම කාලපරිච්ඡේද දෙක අවසානයේදී පිළිවෙළින් රු. බිලියන 5.4 ක් සහ රු. බිලියන 2.8 ක් ලෙස සටහන් විය. පවතින උද්ධමන පීඩන මධ්‍යයේ වුවද, 2026 පළමු මාස 6 හි පිරිවැය - ආදායම් අනුපාතය පළමු කාර්තුව අවසානයේ පැවති සියයට 52 මට්ටමේ සිට සියයට 51 දක්වා වැඩිදියුණු කරගැනීමට බැංකුව සමත් වී ඇති අතර, එය මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු වී ඇති බවට සාක්ෂියකි. එහි ප්‍රතිඵලයක් ලෙස, සියලු‍ බදුවලට පෙර බැංකුවේ මෙහෙයුම් ලාබය පෙර වසරට සාපේක්ෂව සියයට 18 කින් ඉහළ ගොස් රු. බිලියන 2.5 ක් ලෙස වාර්තා වී ඇත. බැංකුවේ සමස්ත බදු දායකත්වය රු. බිලියන 1.3 ක් වූ අතර, එය බැංකුවේ සියලු‍ බදුවලට පෙර මෙහෙයුම් ලාබයෙන් සියයට 55 ක් වැනි ඉහළ අගයක් වේ.
2026 පළමු අර්ධ වර්ෂය තුළ බැංකුව සිය මූල්‍ය තත්වය තවදුරටත් ශක්තිමත් කරගත් අතර, ගනුදෙනුකරුවන් සඳහා ලබා දී ඇති මූල්‍ය පහසුකම් රු. බිලියන 157.0 ක් දක්වා ඉහළ ගියේය. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා ලබාදුන් මූල්‍ය පහසුකම් අඛණ්ඩව වර්ධනය වීම මීට ප්‍රධාන වශයෙන් හේතු වූ අතර, එමගින් ජාතික ආර්ථිකයේ කේන්ද්‍රීය අංශයකට සහාය වීම සඳහා බැංකුව දක්වන නිරන්තර කැපවීම මැනැවින් පිළිබිඹු වේ. මෙම වර්ධනයට සමගාමීව බැංකුව ශක්තිමත් වත්කම් ගුණාත්මකභාවයක් පවත්වා ගත් අතර, එහි අදියර 3 අපහායන ණය අනුපාතය පළමු කාර්තුව අවසානයේ පැවති සියයට 1.2 සිට සියයට 1.1 දක්වා වැඩිදියුණු විය. ක්ෂේත්‍රයේ අඩුම අදියර 3 අපහායන ණය අනුපාත මට්ටමක් වන මෙය, අමානා බැංකුවේ සුවිශේෂී සංවර්ධන කේන්ද්‍රීය සහ මානුෂ හිතවාදී බැංකුකරණ ප්‍රවේශය මූලික කරගත් විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය සහ ශක්තිමත් ණය ඇගයීම් විධිවිධාන මැනැවින් පිළිබිඹු කරයි. බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු පළමු අර්ධ වර්ෂයේ සියයට 5 කින් වර්ධනය වී රු. බිලියන 180.4 ක් බවට පත්වූ අතර, ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය අතින් ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමක් වන සියයට 45.2 ක අනුපාතයක් අඛණ්ඩව පවත්වා ගැනීමට බැංකුවට හැකි වී තිබේ.
දෙවැනි කාර්තුවේදී බැංකුව සිය නව ප්‍රධාන කාර්යාල පරිශ්‍රය රු. බිලියන 2.7 කට මිලදීගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 215.2ක් දක්වා ඉහළ ගියේය. මෙය වසරේ පළමු මාස 6 තුළ සියයට 5 ක වර්ධනයකි. 2026 ජූනි 30 වන විට බැංකුවේ කොටසක වෙළෙඳ මිල රු. 26.80 ක් වූ අතර, එය බැංකුවේ කොටසකට ශුද්ධ වත්කම් වටිනාකම වන රු. 47.30 ට සාපේක්ෂව සියයට 43 ක අවප්‍රමාණයකි.
ලාබදායීත්වය අඛණ්ඩව ඉහළ යාමේ ප්‍රවණතාවත් සමග, බැංකුවේ හිමිකම් මත ප්‍රතිලාභය (Return on Equity – ROE) 2026 පළමු කාර්තුවේ පැවති සියයට 8.1 ට සහ 2025 පළමු අර්ධ වර්ෂයේ පැවති සියයට 7.8 ට සාපේක්ෂව සියයට 8.9 දක්වා වැඩිදියුණු වී ඇති අතර, වත්කම් මත ප්‍රතිලාභය සියයට 1.8 ක් විය.
මෑතකදී දේපළ මිලදී ගැනීමක් සිදු වුවද, බැංකුවේ ප්‍රාග්ධන තත්වය ඉතා යහපත් මට්ටමක පැවති අතර, පොදු කොටස් පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය සියයට 12.4 ක් ලෙසද, සමස්ත ප්‍රාග්ධන අනුපාතය සියයට 13.8 ක් ලෙසද වාර්තා විය. එම අනුපාත පිළිවෙළින් සියයට 7 සහ සියයට 12.5 වන අවම නියාමන මට්ටම්වලට පැහැදිලිවම ඉහළින් පවතින අතර, එමගින් බැංකුවේ මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය මැනැවින් පිළිබිඹු වේ.
2026 පළමු අර්ධ වර්ෂය අවසානයේදී ද්‍රවශීලතා ආරක්ෂිත මට්ටම් ද ශක්තිමත්ව පැවතිණි. රුපියල් සඳහා සහ සියලු‍ මුදල් වර්ග සඳහා ද්‍රවශීලතා ආවරණ අනුපාත පිළිවෙළින් සියයට 321.8 ක් සහ සියයට 206.6 ක් වූ අතර, ශුද්ධ ස්ථාවර අරමුදල් සම්පාදන අනුපාතය සියයට 144.2ක් විය. මෙම සියලු‍ අනුපාත සියයට 100 ක් වන අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පවතී.