අමානා බැංකුව සිය 15 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය සමග එක්ව මුද්දරයක් සහ සමරු කවරයක් නිකුත් කළේය. මෙම මුද්දරය සහ සමරු කවරය එළිදැක්වීමේ උත්සවය 2026 අගෝස්තු 12 වැනි දින පැවැත්වුණු අතර, එහිදී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ උන්නතියට අමානා බැංකුව ලබා දී ඇති දායකත්වය මෙන්ම, සම්පූර්ණයෙන්ම පොලී රහිත බැංකුකරණ ආකෘතියක් යටතේ ක්‍රියාත්මක වන ලංකාවේ පළමු සහ එකම බලපත්‍රලාභී වාණිජ බැංකුව ලෙස එහි සුවිශේෂී භූමිකාවද ඇගයීමට ලක් විය.
2011 වසරේදී මෙහෙයුම් ආරම්භ කළ දින සිට මේ දක්වා අමානා බැංකුව අත්කරගෙන ඇති සාර්ථකත්වය මෙම මුද්දරය සහ සමරු කවරයෙන් නිරූපණය වේ. අමානා බැංකුවේ සංවර්ධනය කේන්ද්‍ර කරගත්, මානුෂ හිතවාදී බැංකුකරණ ප්‍රවේශය වසර 15 ක් පුරා රටේ දියුණුවට අත්වැලක් වෙමින් ජනතාවගේ ජීවිත සවිබල ගන්වා ඇත. මේ වන විට අමානා බැංකුවේ ශාඛා සහ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන 80 කට අධික සංඛ්‍යාවක් රට පුරා පිහිටුවා ඇති අතර, එහි පාරිභෝගික පදනම වේගයෙන් පුළුල් වෙමින් පවතී. ප්‍රධාන වශයෙන් පාරිභෝගික බැංකුකරණය, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බැංකුකරණය සහ සංවර්ධන බැංකුකරණය කෙරෙහි අවධානය යොමු කරන අමානා බැංකුව, තෝරාගත් ප්‍රවේශයක් ඔස්සේ සමාගම් හා ආයතන සඳහාද බැංකු සේවා පහසුකම් සපයයි. බැංකුවේ වත්කම් මත පදනම් වූ මූල්‍යකරණ ආකෘතිය (Asset-backed banking model) මගින් ආර්ථිකයේ ඵලදායී ක්ෂේත්‍ර වෙත අඛණ්ඩව මූල්‍ය පහසුකම් සපයනු ලබන අතර, එමගින් බැංකුවේ වටිනාකම් සහ ප්‍රතිපත්තිවලට අනුකූලව ව්‍යවසායකයින්, පවුල් සහ ව්‍යාපාර සඳහා මූල්‍ය සහය ලබාදීම සිදු වේ.
මෙම උත්සවයට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත්, එම දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ලංකා ද සිල්වා, අමානා බැංකුවේ ආරම්භක සභාපති ඔස්මාන් කාසිම්, වර්තමාන සභාපති අස්ගි අක්බරලි, කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, ආරම්භක අධ්‍යක්ෂවරුන් වන තයිබ් අක්බරලි, රුස්ලි හුසේන්, ජස්රි මැග්ඩන් ඉස්මයිල් සහ ආචාර්ය ඒ.ඒ.එම්. හාරූන් යන මහත්වරුන්, ආරම්භක කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ෆයිසාල් සාලි, වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්, ෂරියා අධීක්ෂණ මණ්ඩලය, OrphanCare  භාරකරුවන්, බැංකුවේ කළමනාකරණ කමිටුවේ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ ශාඛා කළමනාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
මුද්දරය සහ සමරු කවරය නිකුත් කිරීමට පෙර, අමානා බැංකුව විසින් සිය 15 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් ජාතික ධජය එසවීමද සිදුකරන ලදී. 
මුද්දරය නිකුත් කිරීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ පැවසීය. “අමානා බැංකුවේ 15 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ එළිදක්වනු ලබන මෙම විශේෂ මුල් දින කවරය සහ මුද්දරය, අධිෂ්ඨානය සහ විශ්වාසය මත ගොඩනැගුණු අපගේ සුවිශේෂී ගමන් මඟට පිදෙන උපහාරයක් ලෙස හැඳින්විය හැකියි. අප අත්කරගත් ජයග්‍රහණ පමණක් නොව, අපගේ ගනුදෙනුකරුවන්, කොටස් හිමියන්, නියාමන ආයතන, කාර්ය මණ්ඩලය සහ ජනතාව ඇතුළු සියලු‍ම පාර්ශ්ව අප කෙරෙහි තබා ඇති දීර්ඝකාලීන විශ්වාසයද මෙමගින් මැනැවින් පිළිබිඹු වනවා. මෙය අතීතය සැමරීමක් පමණක් නොව, ඉදිරි ගමනට අප හට මඟපෙන්වන වටිනාකම් සහ අරමුණු යළි තහවුරු කිරීමක් ලෙසද හැඳින්වීමට පුළුවන්. මෙය පුරෝගාමී දැක්මක් මත ආරම්භ වූ, කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් වර්ධනය වූ සහ පාර්ශ්වකරුවන්ගේ විශ්වාසයෙන් ශක්තිමත් වූ බැංකුවක කතාවයි. මෙමගින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතරම, තිරසාර වටිනාකම් නිර්මාණය කිරීම, පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට අත්වැලක් වීම සහ රටේ ආර්ථික හා සමාජීය ප්‍රගතියට අර්ථවත් දායකත්වයක් ලබා දීම සඳහා වන අපගේ කැපවීම නැවත වරක් තහවුරු කරනවා.”