CICT හි ප්‍රධාන වාණිජ නිලධාරී කැත්‍රියෝනා ජයසුන්දර මහත්මිය,  CICT හි ප්‍රධාන විධායක නිලධාරී ජැන් ෂැන්ග් මහතා සහ  AFLAS සම්මාන උළෙලේ සත්කාරක, දිනාගත් 10 වන සම්මානය සමග ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව.


2026 ආසියානු භාණ්ඩ ප්‍රවාහන, ලොජිස්ටික්ස් සහ සැපයුම් දාම (AFLAS) සම්මාන උළෙලේදී කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) TEU මිලියන 4ට අඩු කාණ්ඩයේ ආසියාවේ හොඳම බහාලුම් පර්යන්තය ලෙස පිදුම් ලබා තිබේ. මෙම ජයග්‍රහණයත් සමග එම සම්මානය අඛණ්ඩව 10 වැනි වරටත් දිනාගත් පළමු බහාලුම් පර්යන්තය ලෙස ඉතිහාසගත වීමටද (CICT) සමත්ව ඇත.
පසුගිය ජුනි 24 වැනිදා චීනයේ ෂැංහයි නුවරදී පැවැති සම්මාන උළෙලේදී (CICT) ලත් ජයග්‍රහණය කලාපීය ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායට හිමි ස්ථානය තවදුරටත් තහවුරු කර ඇත. ඒ පිළිබඳ අදහස් දක්වමින් CICT ප්‍රධාන විධායක නිලධාරී ජැන් ෂැන්ග් මහතා පැවසුවේ, අඛණ්ඩව 10 වැනි වරටත් AFLAS සම්මානය හිමිකර ගැනීම CICT සමාගමට පමණක් නොව, ශ්‍රී ලංකාවේ සමස්ත සමුද්‍රීය කර්මාන්තයටම හිමි වූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි. ,මෙය වසර දහයක් පුරා අප පවත්වාගෙන ආ මෙහෙයුම් විශිෂ්ටත්වය, පාරිභෝගික විශ්වාසය සහ සේවා ගුණාත්මකභාවයට හිමි වූ ජාත්‍යන්තර පිළිගැනීමක්. ඒ වගේම චයිනා මර්චන්ට්ස් පෝර්ට් සමූහයේ  (CMPort)  උපායමාර්ගික නායකත්වය සහ ශක්තිමත් සහයෝගයත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අඛණ්ඩ මගපෙන්වීම සහ හවුල්කාරිත්වයත් මෙම ජයග්‍රහණයට මූලික ශක්තියක් වී තිබෙනවා. ඒ සියල්ල එක්ව CICT කලාපයේ මෙහෙයුම් විශිෂ්ටත්වයට සහ සේවා ගුණාත්මකභාවයට නව ප්‍රමිති ස්ථාපිත කළ පර්යන්තයක් බවට පත්කර තිබෙනවා, යැයි ඔහු සඳහන් කළේය.
ඔහු තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ගෝලීය සැපයුම් දාම වේගයෙන් වෙනස් වන පසුබිමක පාරිභෝගිකයන්ට සහ නැව් සමාගම්වලට ඉහළම සේවාවක් ලබාදීම සඳහා තාක්ෂණය, මානව සම්පත් සංවර්ධනය සහ තිරසාර මෙහෙයුම් සඳහා CICT අඛණ්ඩව ආයෝජනය කරන බවයි. එහි කොටසක් ලෙස උපකරණ විදුලිකරණය, ඩිජිටල්කරණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ ස්මාර්ට් වරාය. (Smart Port)  තාක්ෂණය හඳුන්වාදෙමින්, මෙහෙයුම් කාර්යක්ෂමතාව, සේවා විශ්වසනීයත්වය සහ බලශක්ති කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගනිමින් සිටින බවද ඔහු පැවසීය.
වාර්ෂිකව පැවැත්වෙන AFLAS සම්මාන උළෙල ආසියානු භාණ්ඩ ප්‍රවාහන, ලොජිස්ටික්ස් සහ සැපයුම් දාම ක්ෂේත්‍රයේ වඩාත්ම පිළිගත් සම්මාන අතරින් එකක් වන අතර, ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ කර්මාන්තයේ වෘත්තිකයන්ගේ නාමයෝජනා, තාක්ෂණික ඇගයීම් සහ අවසන් ඡන්ද විමසීමකින් අනතුරුවය.
2014 වසරේ පූර්ණ මෙහෙයුම් ආරම්භ කළ  CICT, CMPort ජාත්‍යන්තර වරාය කළමනාකරණ විශේෂඥතාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හවුල්කාරිත්වය මත වර්ධනය වූ දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගැඹුරු ජල බහාලුම් පර්යන්තයකි. අද වන විට එය වාර්ෂිකව TEU මිලියන 3කට අධික බහාලුම් ප්‍රමාණයක් හසුරුවන අතර, කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වල සැලකිය යුතු කොටසක් කළමනාකරණය කරමින් ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ප්‍රමුඛ ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට වැදගත් දායකත්වයක් ලබා දෙයි.
CMPort සාමාජික ආයතනයක් ලෙසත්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ ක්‍රියාත්මක වන CICT ජාත්‍යන්තර වරාය කළමනාකරණ විශේෂඥතාව සහ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ශක්තීන් ඒකාබද්ධ කරමින් දකුණු ආසියාවේ ප්‍රමුඛ බහාලුම් පර්යන්තයක් ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරු කරගෙන යයි. චයිනා මර්චන්ට්ස් පෝර්ට් සමූහයේ උපායමාර්ගික නායකත්වය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අඛණ්ඩ සහයෝගය මෙම පර්යන්තයේ දිගුකාලීන වර්ධනය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ ජාත්‍යන්තර පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වී තිබේ. තරගකාරිත්වය තවදුරටත් ඉහළ නංවමින් සිටී.