ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ඉලෙක්ට්‍රික් ස්කූටර් නිෂ්පාදන සමාගමක් වන  Greaves Ampere සහ ශ්‍රී ලංකාවේ Softlogic Holdings PLC හි අනුබද්ධිත සමාගමක් වන Softlogic Automobiles (Pvt) Ltd අතර ඇති කරගත් සුවිශේෂී හවුල්කාරිත්වය යටතේ,  Greaves Ampereහි ශ්‍රී ලාංකීය නිල සහ සුවිශේෂී බෙදාහැරීමේ හා අලෙවි නියෝජිතයා ලෙස Softlogic Automobiles පත් කර තිබේ.
මෙම හවුල්කාරීත්වයෙන්  Nexus, Magnus Neo, Magnus Gmax සහ Reo Vyb  යන මාදිලිවලින් සමන්විත Ampere ඉලෙක්ට්‍රික් ස්කූටර් පෙළ මෙරට Softlogic Automobiles සමාගමෙහි නිෂ්පාදන පෙළ අතරට එක් කෙරෙනු ඇති අතර මෙම නව මෝටර් රථ සන්නාමය Autovision Colombo Motorshow 2026 ප්‍රදර්ශනයේදී නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබේ. අගෝස්තු මාසයේ සිට මෙම නව ඉලෙක්ට්‍රික් ස්කූටර් ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම මෙම ඉලෙක්ට්‍රික් ස්කූටර් පෙළේ අලෙවිය වත්තල පිහිටි Softlogic Max ප්‍රදර්ශනාගාරයෙන් ආරම්භ වේ. වසර අවසානය වනවිට දිවයින පුරා සිය අලෙවිසල්, බෙදාහැරීමේ සහ අලෙවියෙන් පසු සේවා මධ්‍යස්ථාන තවදුරටත් ව්‍යාප්ත කිරීමට සමාගම කටයුතු යොදා තිබේ.
ඉන්දියානු ප්‍රවාහන ක්ෂේත්‍රයේ දශක ගණනාවක් පුරා ගොඩනගාගත් ඉංජිනේරු විශිෂ්ටත්වයක් පදනම් කරගත් නිෂ්පාදන පෙළක් සහිත, Greaves Electric Mobility  සමාගම යටතේ ක්‍රියාත්මක වන, Greaves Ampere වෙළෙඳ සන්නාමය, ලොව පුරා වෙළෙඳපොළ වෙත වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන වෙළෙඳපොළේ සිය නියෝජනය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් කටයුතු කරන Softlogic Automobiles  සමාගම පවසන්නේ, Greaves Ampere සන්නාමයේ ජාත්‍යන්තර කීර්තිනාමය, විශ්වසනීයත්වය සහ විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලන මෙම නව ඉලෙක්ට්‍රික් ස්කූටර් මාදිලි පෙළ එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා වඩාත් සුදුසු තේරීමක් වන බවයි. 
මේ පිළිබඳ අදහස් දක්වමින් Softlogic Automobiles අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ හේමන්ත ගුණවර්ධන මහතා මෙසේ සඳහන් කළේය. ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ ප්‍රවාහන විසඳුම් හඳුන්වා දීම Softlogic Automobiles හි ප්‍රධාන අරමුණයි. වඩාත් බුද්ධිමත් හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් කරා රට ගෙන යාම තම දැක්මේ තවත් වැදගත් පියවරක් ලෙස ඉන්දියාවේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් ස්කූටර් සන්නාමයක් වන Greaves Ampere ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට හැකිවීම පිළිබඳ මහත් ආඩම්බරයට පත්වනවා. තවද, මෙම සුවිශේෂී හවුල්කාරිත්වය හරහා Softlogic සමූහයේ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව හා ශක්තිමත් වෙළෙදසල් ජාලය සමගින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට නව්‍ය, ගුණාත්මක සහ විශ්වාසනීය විද්‍යුත් ප්‍රවාහන විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බවත් මෙය ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ නව යුගයක ආරම්භයක් සනිටුහන් කරන සුවිශේෂී අවස්ථාවක් වනු ඇති. 
තරුණ වෘත්තිකයන්, විශ්වවිද්‍යාල සිසුන්, නාගරික ප්‍රවාහන භාවිත කරන්නන්, ප්‍රථම වරට වාහනයක් මිලදී ගන්නා පාරිභෝගිකයන්, වාහන කළමනාකරණ ආයතන සහ බෙදාහැරීමේ සේවාවල නිරත රියැදුරන් ඇතුළු පුළුල් පාරිභෝගික පිරිසකගේ අවශ්‍යතා සපුරාලන අයුරින් Ampere ඉලෙක්ට්‍රික් ස්කූටර් පෙළ වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. තවද, ඉහළ යන ඉන්ධන පිරිවැය සහ පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය ගෙන ඇති දිරිගැන්වීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රික් ස්කූටර් වෙළෙඳපොළේ අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතී.