Maris Motor Rally  2026 හෙවත් MMR  26 මෙවර අගෝස්තු මාසයේදී වඩාත් පුළුල් සංචාරක, ප්‍රජා සහ ආර්ථික සංවර්ධන දැක්මක් සමග නැවත පැවැත්වීමට නියමිතය. දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා මීගමුව ජීවමාන හා ආකර්ෂණීය සති අන්ත ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම මෙවර වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන MMR 26, මෝටර් රථ ක්‍රීඩා, ජාත්‍යන්තර සංගීත විනෝදාස්වාදය, හෝටල් හා අවන්හල් හවුල්කාරිත්ව, සංචාරක අත්දැකීම් සහ වසර පුරා ක්‍රියාත්මක වන ආයතනික සමාජ වගකීම් වැඩසටහන් එක් වේදිකාවක් යටතට ගෙන එනු ඇත. 

මෙම වැඩසටහනෙන් මීගමුවේ හෝටල්, අවන්හල්, ප්‍රවාහන සේවා සපයන්නන්, සුළු වෙළෙඳුන්, තරුණ කණ්ඩායම් සහ ප්‍රජා මූලික ව්‍යාපාර සඳහා පුළුල් ආර්ථික ප්‍රතිලාභ සහ නව ආදායම් අවස්ථා උදාකර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

MMR 26 වැඩසටහන සඳහා ප්‍රබල ආයතනික සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ හවුල්කරුවන් පිරිසක් සහාය දක්වයි. ඒ අනුව, ශාන්ත ජෝසප් රෝහල සන්නාම අනුග්‍රාහකයා ලෙසත්, BYD මෝටර් රථ අනුග්‍රාහක ලෙසත්, Jetwing Hotels  ආගන්තුක සත්කාර අනුග්‍රාහක ලෙසත්, Jetwing Hotels රසකැවිලි අනුග්‍රාහක ලෙසත් එක්ව සිටී. 

A&E Yarn සහ Tuk Tuk Wine & Dine ද අනුග්‍රාහකවරුන් වශයෙන් මෙම වැඩසටහනට එක්ව ඇත. මෙම හවුල්කාරිත්වයෙන් මෝටර් රථ ක්‍රීඩා, විනෝදාස්වාදය සහ සංචාරක කර්මාන්තය ඒකාබද්ධ කළ අත්දැකීමක් ලබාදීමට මෙන්ම මීගමුව නගරය සහ ඒ අවට පුළුල් ආර්ථික ක්‍රියාකාරකම් උත්පාදනය කිරීමට MMR 26 වැඩසටහනට හැකියාව ලැබෙනු ඇත.

MMR 26 වැඩසටහන ජූනි 11 වැනිදා   Vertical by Jetwing හි පැවති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් එළිදක්වන ලදී. ඉන් අනතුරුව, ජූලි 17 වැනිදා Tuk Tuk Wine & Dine  හිදී මහජනතාව සඳහා පූර්ව ප්‍රවර්ධන සැඳෑවක් පැවැත්වීමට නියමිතය.

ප්‍රධාන MMR 26 TSD  රැලිය අගෝස්තු 1 වැනිදා පෙරවරු 8.00ට මාරිස් ස්ටෙලා විද්‍යාල පරිශ්‍රයෙන් ආරම්භ කෙරෙන අතර, ඒ සඳහා 2,000කට ආසන්න පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එදිනම පස්වරු 4.00 සිට Jetwing Blue  පරිශ්‍රයේදී MMR 26  Together නිල සංගීත උළෙල වන ඊ Björn Again ABBA සංගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිත අතර, එය නැරඹීම සඳහා 8,000කට ආසන්න ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

MMR 26 සති අන්ත වැඩසටහන අගෝස්තු 2 වැනිදා Tuk Tuk Wine & Dine හිදී පැවැත්වෙන අවසන් සාදයෙන් නිමාවට පත්වනු ඇත. 
MMR 26 සමග One Pass නමින් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරේ. උත්සව ප්‍රවේශ පත්‍රයේ සඳහන් QR කේතය භාවිත කරමින්, මීගමුව පුරා පිහිටි හවුල්කාර හෝටල්, අවන්හල් සහ තෝරාගත් සංචාරක අත්දැකීම් සඳහා විශේෂ වට්ටම් සහ දීමනා ලබාගැනීමට අමුත්තන්ට හැකිවනු ඇත. 

MMR 26 හි ආයතනික සමාජ වගකීම් සහ ප්‍රජා සංවර්ධන වැඩසටහන් වසර පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටද සංවිධායකයෝ සැලසුම් කර ඇත.