LOLC අල්-ෆලාහ්, විද්වත් අධීක්ෂණ මණ්ඩලයේ සභාපති අෂ්-ෂෙයික් ෂෆීක් 
ඒ. ජකුරා (මුෆ්ටි)

LOLC ෆිනෑන්ස් පීඑල්සී 
විකල්ප මූල්‍ය සේවා, 
අල්-ෆලාහ් ප්‍රධානී, 
ෂිරාස් රිෆායි

LOLC අල්-ෆලාහ්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විකල්ප මූල්‍ය සේවා සැපයුම්කරු ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරු කරමින්, මෙරට ප්‍රථම ව්‍යුහගත තවරුක් (Tawarruq) පාදක ඉස්ලාමීය ද්‍රවශීලතා විසඳුම “පුද්ගලික මූල්‍ය සඳහා අල්-ෆලාහ් තවරුක්” හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය මූල්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරන එය ගනුදෙනුකරුවන්ට ද්‍රවශීලතාවට ප්‍රවේශ වීම සඳහා ප්‍රායෝගික සහ සදාචාරාත්මක විසඳුමක් පිරිනමයි.

විකල්ප මූල්‍ය විසඳුම් සඳහා ඉහළ යමින් පවතින ඉල්ලු‍මට ප්‍රතිචාරයක් ලෙසින් සංවර්ධනය කරන ලද “පුද්ගලික මූල්‍ය සඳහා අල්-ෆලාහ් තවරුක්”, ඉස්ලාමීය ආර්ථික මූලධර්මවලට අනුකූලව ගනුදෙනුකරුවන්ට ද්‍රවශීලතාව ලබාගැනීමට ව්‍යුහගත, විනිවිදභාවයෙන් යුත් ප්‍රවේශ විය හැකි යාන්ත්‍රණයක් සපයයි. මෙම විසඳුම අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ව්‍යාපාර පුළුල් කිරීම, පෞද්ගලික වගකීම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් ඇතුළු පුළුල් පරාසයක මූල්‍ය අවශ්‍යතාවලට සහාය වීම සඳහා නිර්මාණය කර ඇත.

වත්කම් මත පදනම් වූ ගනුදෙනු පෙළක් හරහා ගනුදෙනුකරුවන්ට මුදල් ප්‍රවාහය වෙත ප්‍රවේශවීමේ හැකියාව ලබා දෙන තවරුක් (Tawarruq), ගෝලීය වශයෙන් පිළිගත් ඉස්ලාමීය මූල්‍ය සංකල්පයකි. මෙම සැකැස්ම යටතේ, කල්දමන ලද ගෙවීමක් මත මුරාබහා (පිරිවැය-ලාභ විකිණීම) ගිවිසුමක් හරහා වෙළෙඳ භාණ්ඩයක් මිලදී ගනු ලබන අතර, පසුව තුන්වැනි පාර්ශ්වයකට අත්පිට මුදලට විකුණමින් මුරාබහා මූලධර්මවලට අනුකූල වන ආකාරයෙන් ද්‍රවශීලතාවක් ජනනය කරයි. 

LOLC අල්-ෆලාහ්, ගනුදෙනුකරු වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම, අලෙවිය සහ නැවත විකිණීම සඳහා පහසුකම් සලසමින් ගනුදෙනු ක්‍රියාවලිය පුරාම පත් කරන ලද නියෝජිතයා ලෙස ක්‍රියා කරයි. එමගින් මූලික නිෂ්පාදන මූලධර්මවලට දැඩි ලෙස අනුගත වූ, බාධාවලින් තොර, විනිවිදභාවයෙන් යුත් කාර්යක්ෂම අත්දැකීමක් සහතික කරයි. 

මෙම පුරෝගාමී විසඳුම හඳුන්වාදීම සිදුවන්නේ ගනුදෙනුකරුවන් නම්‍යශීලීතාව, විනිවිදභාවය සහ සදාචාරාත්මක වගකීම් එකතු කළ මූල්‍ය මෙවලම් වැඩි වැඩියෙන් සොයන අවස්ථාවකදීය. ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ තවරුක් ව්‍යුහය විධිමත් ලෙස ස්ථාපිත කිරීමෙන්, LOLC අල්-ෆලාහ්, කර්මාන්තයේ ප්‍රමිති ඉහළ නංවමින්, විශ්වාස මත පදනම් වූ මූල්‍ය විසඳුම් සඳහා ප්‍රවේශය පුළුල් කරයි.

මෙම දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් LOLC අල්-ෆලාහ්, විකල්ප මූල්‍ය සේවා ප්‍රධානී ශිරාස් රිෆායි මහතා මෙසේ පැවසීය. “LOLC අල්-ෆලාහ් හි අපගේ කැපවීම වන්නේ පාරිභෝගික කේන්ද්‍රීය සහ අනාගතයට සරිලන විසඳුම් සැපයීමෙන් විශ්වාසයෙන් යුතුව අපේක්ෂා සපුරා ගැනීම සඳහා පුද්ගලයන් සහ ව්‍යාපාර සවිබල ගැන්වීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යුහගත තවරුක් ද්‍රවශීලතා විසඳුම හඳුන්වාදීම, සදාචාරාත්මක මූල්‍යකරණ ප්‍රවේශය පුළුල් කරන වැදගත් ඉදිරි පියවරක් වන අතර, එමගින් විකල්ප මූල්‍ය සේවා කෙරෙහි පාරිභෝගික විශ්වාසය ශක්තිමත් කරයි. විනිවිදභාවය, පහසුව සහ අනුකූලතාව හරය ලෙස සලකමින් නිර්මාණය කර ඇති මෙම විසඳුම ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ වෙනස් වන මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රායෝගික මගක් සපයයි.”

අල්-ෆලාහ් විද්වත් අධීක්ෂණ මණ්ඩලය නියෝජනය කරන අෂ් ෂෙයික් ෂෆීක් ඒ. ජකුරා මහතා මෙසේ පැවසීය. “පුද්ගලික මූල්‍ය සඳහා අල්-ෆලාහ් තවරුක් විසඳුම මගින්, ඉස්ලාමීය මූල්‍යකරණයේ මූලික මූලධර්මවලට අනුකුලව නූතනයේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට එය සතු හැකියාව පිළිබිඹු කරයි. විනිවිදභාවය, සාධාරණත්වය සහ අව්‍යාජත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමු කරමින් සංවර්ධනය කරන ලද මෙම විසඳුම ප්‍රයෝගික ලෙස ලෝකයේ ද්‍රවශීලතා අවශ්‍යතාවලට නිසි ප්‍රතිචාර දක්වන ගිවිසුම් රාමුවක් සපයයි. එමෙන්ම, අද වෙනස් වන මූල්‍ය පරිසරය තුළ අදාළ හා ඵලදායී මූල්‍ය විසඳුම් සැපයීමේදී ඉස්ලාමීය මූල්‍ය ක්ෂේත්‍රයේ අනුවර්තනය වීමේ හැකියාව ද මෙයින් විදහා දක්වයි.”

“පුද්ගලික මූල්‍ය සඳහා අල්-ෆලාහ් තවරුක්” දියත් කිරීම, ශ්‍රී ලංකාව තුළ විවිධ මූල්‍ය මෙවලම්, පුළුල් සහභාගීත්වය සහ සදාචාරාත්මක පදනමක් සහිත මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය පුළුල් කිරීම සඳහා වන LOLC අල්-ෆලාහ් මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරයි. ශක්තිමත් පාලනය, ක්ෂේත්‍රයේ ගැඹුරු විශේෂඥතාව සහ වගකිවයුතු මූල්‍ය සේවා සඳහා කැපවීමෙන් LOLC අල්-ෆලාහ්, පුද්ගලයන්ට, ව්‍යාපාරවලට සහ පුළුල් ලෙස මූල්‍ය පරිසරයට සහාය වන වටිනාකම් මත පදනම් වූ විසඳුම් අඛණ්ඩව පිරිනමයි.