ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ යුරෝපා සංගමය (EU) සමග එක්ව ක්‍රියාත්මක කරන 2026 ශ්‍රී ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) යටතේ 7 වැනි පළාත් ExpoNavigator වැඩසටහන ඉකුත්දා මඩකලපුවේදී සාර්ථකව පැවැත්විණි. 

යුරෝපා සංගමයේ දකුණු ආසියාවේ දේශගුණික හිතකාමී සහ යටිතල පහසුකම් වේගවත් කිරීම ‘Accelerating Climate Smart and Inclusive Infrastructure in South Asia (ACSIIS)’ කලාපීය වැඩසටහනේ සහාය යටතේ ක්‍රියාත්මක වන මෙම මුලපිරීමේ අරමුණ වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) අපනයන සූදානම සහ තරගකාරීත්වය ඉහළ නංවා ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීම සඳහා ඔවුන් සවිබල ගැන්වීමයි.

2026 ජාත්‍යන්තර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය දිනයට සමගාමීව පැවති මෙම දෙදින වැඩසටහන සඳහා නැගෙනහිර පළාතේ අපනයන විභවයක් සහිත ව්‍යවසායකයන් 100කට ආසන්න පිරිසක් සහභාගී වූහ. ඔවුන් සඳහා අපනයන සූදානම, වෙළෙඳපොළට ප්‍රවේශය, නිෂ්පාදන සංවර්ධනය, සන්නාමකරණය, ඇසුරුම්කරණය, තත්ව ප්‍රමිති සහ මූල්‍ය පහසුකම් පිළිබඳ විශේෂඥ දැනුම ලබාදෙන දැනුවත් කිරීමේ සැසි, තාක්ෂණික උපදේශන සහ පෞද්ගලීකරණය කළ ව්‍යාපාරික උපදේශන සේවා ක්‍රියාත්මක කරන ලදී.

වැඩසටහනේ විශේෂ අංගයක් වූ ව්‍යාපාර උපදේශන සැසි (Business Clinic) හරහා සහභාගි වූ ව්‍යවසායකයන්ට EDB සහ හවුල්කාර ආයතනවල විශේෂඥයන් සමග ඍජුව සාකච්ඡා කර තම ව්‍යාපාරවල අපනයන සූදානම ඇගයීමටත්, ඉදිරි සංවර්ධන අවස්ථා හඳුනා ගැනීමටත් හැකි විය. එමෙන්ම, SLEEI වැඩසටහන යටතේ ඉදිරි පුහුණු හා උපදේශන වැඩසටහන් සඳහා ඉහළ විභවයක් සහිත ව්‍යවසායන් හඳුනා ගැනීමද මෙමගින් සිදු කෙරිණි.

කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ආහාර සැකසීම, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු සහ නිෂ්පාදන කර්මාන්ත සඳහා ඉහළ විභවයක් පැවතියද, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි අපනයනකරුවන් අතර නැගෙනහිර පළාතේ නියෝජනය සියයට එකකටත් වඩා අඩු මට්ටමක පවතී. එමෙන්ම ජාතික දළ දේශීය නිෂ්පාදිතයට (GDP) දැනට සියයට 5ක පමණ දායකත්වයක් ලබාදෙන මෙම පළාතේ ආර්ථික දායකත්වය 2030 වන විට සියයට 8 දක්වා ඉහළ නැංවීමේ ජාතික ඉලක්කයට මෙම වැඩසටහන වැදගත් දායකත්වයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

ExpoNavigator වැඩසටහන මේ වන විට බස්නාහිර, වයඹ, උතුරු, දකුණු, සබරගමුව, ඌව සහ නැගෙනහිර යන පළාත් හත තුළ ක්‍රියාත්මක කර ඇති අතර, ප්‍රාදේශීය ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික, මූල්‍ය සහ ආයතනික සහාය ලබාදීමෙන් නව අපනයනකරුවන් බිහිකිරීම එහි ප්‍රධාන අරමුණ වේ.

මෙම වැඩසටහන 2026-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ (NEDP) අරමුණු සමග සමපාත වන අතර, විශේෂයෙන් ප්‍රාදේශීය ව්‍යවසාය, කාන්තා නායකත්වයෙන් යුත් ව්‍යාපාර, තරුණ ව්‍යවසායකයන් සහ නව්‍ය ව්‍යවසායකයන් සඳහා අපනයන අවස්ථා පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. 

අපනයන සංවර්ධන සේවා පළාත් මට්ටමටම රැගෙන යාම හරහා, ප්‍රාදේශීය ව්‍යාපාර ගෝලීය වටිනාකම් දාමයන්ට සම්බන්ධ කරමින් විවිධාංගීකරණය වූ සහ සියලු‍ දෙනා ඇතුළත් අපනයන ආර්ථිකයක් ගොඩනැගීමට මෙම මුලපිරීම දායක වේ.