TATA වාණිජ සහ මගී වාහන, මර්සිඩීස්-බෙන්ස්, Jeep රථ මෙන්ම කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී ලීසිං විසඳුම් රැසක් හඳුන්වා දීමට හැටන් නැෂනල් බැංකුව, DIMO සමග පසුගියදා අත්වැල් බැඳගත්තේය.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා මෙසේ පැවසුවේය. “තම ව්‍යාපාරය පුළුල් කරගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාරිකයන්, නව වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පවුලක් මෙන්ම කෘෂි කටයුතු සඳහා තාක්ෂණය භාවිත කිරීමට උත්සාහ කරන ගොවි ජනතාව ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම අනාගත බලාපොරොත්තු සැබෑ කිරීමට HNB අප සැමවිටම කැපවී සිටිනවා. මෙම හවුල්කාරිත්වය හරහා ශක්තිමත් මූල්‍ය අනුග්‍රහය වගේම විශ්වාසනීය සහ සැබෑ වටිනාකමක් අපේ පාරිභෝගිකයන්ට පිරිනැමීමට අපට හැකියාව ලැබෙනවා.” 

ව්‍යාපාරිකයන්ට අවම පිරිවැයකින් තම වාහන සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට අවස්ථාව සලසා දෙමින්, වෙළෙඳපොළ තත්වයට යටත්ව TATA ACE HT2 (ඩිමෝ බට්ටා), TATA Xenon Yodha (Single Cab) සහ TATA Super Ace යන වාණිජ වාහන මාදිලි සඳහා විශේෂ මිල අඩු කිරීම් රැසක් පිරිනැමීමට ද කටයුතු යොදා ඇත.

මෙම සුවිශේෂී ප්‍රතිලාභ මගී වාහන කාණ්ඩය සඳහා ද අදාල වන අතර, ඒ යටතේ මර්සිඩීස්-බෙන්ස්, Jeep රථ සහ ටාටා රථ මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට කලින් වෙන් කරගත් වේලාව අනුව වාහන පරීක්ෂා කිරීමේ සහ පරීක්ෂණ ධාවනයෙහි (Test Drives) නිරත වීමේ අවස්ථාව හිමි වේ. මීට අමතරව, දිවයින පුරා පැය 24 පුරාම නොමිලේ ක්‍රියාත්මක මාර්ගස්ථ සහයෝගීතා සේවාව ද පාරිභෝගිකයන්ට පිරිනැමේ. 

පාරිභෝගික අත්දැකීම තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් මර්සිඩීස්-බෙන්ස් වාහන සඳහා අසීමිත ධාවන කාල සීමාවක් සහිත වසර 2ක වගකීම් කාලයක් සහ Jeep රථ සඳහා වසර 5ක හෝ කිලෝමීටර් 150,000ක වගකීම් කාලයක් හිමිවේ.

තවද මෙම හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව වෙනුවෙන් ද සුවිශේෂී සහයෝගයක් ලබා දීමට කටයුතු යොදා ඇත. ඒ යටතේ මහින්ද්‍රා (Mahindra) සහ ස්වරාජ් (Swaraj) ට්‍රැක්ටර් රථ මිලදී ගන්නා පාරිභෝගිකයන්ට වසර 4ක පුළුල් වගකීම් කාලයක්, වසර 3ක් පුරා නොමිලේ සැපයෙන ගොවි උපකරණ කට්ටල සහ ඔයිල් ෆිල්ටර් මෙන්ම නොමිලේ වාහන සේවා වාර 3ක් ද හිමි වේ.