DIMO, සිය දිවයින පුරා විහිදුණු Agri Machinery වෙළෙඳ නියෝජිත ජාලයේ විශිෂ්ට කාර්යසාධනය ඇගයීම වෙනුවෙන් DIMO Agri Machinery Prestige Awards 2025/26 සම්මාන උළෙල Monarch Imperial හිදී පසුගියදා පැවැත්වීය. අලෙවි, අමතර කොටස් සහ සේවා යන අංශ තුන යටතේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ වෙළෙඳ නියෝජිතයන් මෙහිදී ඇගයීමට ලක් විය. 
ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුවට දායක වන සිය වෙළෙඳ නියෝජිත හවුල්කරුවන් සමග DIMO පවත්වාගෙන යන දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණක් විය. පාරිභෝගිකයන් වෙත වඩාත් හොඳ සේවාවක් ලබාදෙමින් DIMO හි අලෙවි, අලෙවියෙන් පසු සේවා සහ අමතර කොටස් ජාලය ශක්තිමත් කිරීමට දායක වූ නියෝජිතයන් මෙහිදී ඇගයීමට ලක් විය. 
මෙවර සම්මානලාභීන් අතරින් වවුනියාවේ Kavin Motors හි  ඒ. වික්නේෂ්වරන් මහතා අලෙවි අංශයේ ජයග්‍රාහකයා ලෙස සම්මානයට පාත්‍ර විය. A.V.P. Motors හි එන්.පී.එල්. ගුණවර්ධන මහතා අමතර කොටස් අංශයේ සම්මානය හිමිකර ගත් අතර, වවුනියාවේ MF Tractor Works හි නඩරාජ් පුවනේෂ්වරන් මහතා පාරිභෝගිකයන් වෙත විශිෂ්ට සේවාවක් සහ අලෙවියෙන් පසු සේවා අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් සේවා අංශයේ ජයග්‍රාහකයා ලෙස සම්මානයට පාත්‍ර විය.
මෙම අවස්ථාව DIMO සහ Mahindra Tractors අතර වසර 35ක් පුරා පවතින සාර්ථක හවුල්කාරීත්වය සැමරීමට ද අවස්ථාවක් විය. ලංකාවේ කෘෂිකාර්මික යාන්ත්‍රිකරණය නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යාමට මෙම හවුල්කාරීත්වය සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇත. එමෙන්ම, නව Mahindra OJA Tractor සහ LOVOL RG102 Pro Harvester යන්ත්‍ර මෙහිදී හඳුන්වා දෙන ලද අතර, එමගින් ලංකාවේ ගොවි ජනතාවගේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නවීන කෘෂිකාර්මික තාක්ෂණය ලබාදීමට DIMO හි කැපවීම තවදුරටත් තහවුරු විය.