
තිළිණ සමරසිංහ විසිනි
දශක හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛතම විලාසිතා සන්නාම සඳහා විශ්වාසනීය සහ වේගවත් නිෂ්පාදන මධ්‍යස්ථානයක් බව සනාථ කර ඇත. එහෙත් දශක 4කට වැඩි කාලයක් ලෝකයේ විවිධ සන්නාම අප විසින් නිෂ්පාදනය කළද ශ්‍රී ලාංකීය ඇඟලුම් සන්නාමයක් අපට තවමත් නිෂ්පාදනය කර ගැනීමට නොහැකි වීම පිළිබඳව වඩාත් ගැඹුරින් විමසා බැලිය යුතුය. මේ අභියෝගය නොපමාව ජය ගත යුතුවද ඇත.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද එහි වර්ධනීය අදියරයෙහි යම් කඩඉමකට පැමිණ ඇත. මෙතෙක් අප සංවාද කළේ අපනයන ආදායම, රැකියා උත්පාදනය, කර්මාන්තශාලා ධාරිතාව, අනුකූලතාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය පිළිබඳවය. එහෙත් දැන් අපි අභිමුව ඇති අභියෝගය ඊට වඩා ගැඹුරුය. ලෝකයේ ප්‍රමුඛ විලාසිතා සන්නාම සඳහා උසස් තත්වයේ ඇඟලුම් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවට, Ceylon Tea මෙන් ලොව පාරිභෝගිකයා හඳුනාගන්නා ශ්‍රී ලාංකික ඇඟලුම් සන්නාමයක් තවමත් ගොඩනැගීමට නොහැකි වූයේ ඇයි?
වටිනාකම නිර්මාණය වන්නේ කොතැනද?
ජාත්‍යන්තර සන්නාමයක් ගොඩනැගීම යනු හුදෙක්ම සරල සන්නාමයක් හෝ වෙළෙඳ නාමයක් ලෝකයට හඳුන්වා දෙනවාට වඩා සංකීර්ණ කාර්යයකි. වඩාත් සරලව පවසනවා නම් ජාත්‍යන්තර වෙළෙඳාමේදී එහි වටිනාකම නිර්මාණය වන්නේ කොතැනද සහ එම වටිනාකම අත්පත් කරගන්නේ කවුරුන්ද යන්න මෙහි මූලික අදහසයි. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය දශක ගණනාවක් තිස්සේ ශ්‍රම නිපුණත්වය, කාලානුරූප සැපයුම, ගුණාත්මක තත්ව පාලනය, සමාජ හා පාරිසරික අනුකූලතාව, තිරසාර නිෂ්පාදනය සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන් සමග ගොඩනැගූ විශ්වාසය යන යහපත් ගුණාංග සමග අගය එකතු කළ නිෂ්පාදන අපනයනය කරන ව්‍යාපාර මොඩලයක් පවත්වාගෙන යනු ලබයි. එහෙත් ජාත්‍යන්තර සන්නාම ගත ඇඟලුම් මිලදී ගනු ලබන පාරිභෝගිකයා මෙම භාණ්ඩය සඳහා ගෙවන අමතර මිල වාසිය හෙවත් price premium බොහෝ විට විදේශීය සන්නාම, සන්නාම හිමිකාරීත්වය දරන විකුණුම්කරු සහ බෙදාහැරීමේ ජාලය පවත්වාගෙන යන සමාගමට (distribution networks ) හිමිවෙයි.
අපනයන දත්ත පෙන්වන අවස්ථාව සහ අවදානම
ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ඇඟලුම් සන්නාමයක් ගොඩනගා ගැනීමේ ඇති ශක්තියත් තවමත් අපට අපේම කියා සන්නාමයක් වර්ධනය කර ගැනීමට නොහැකි වීමේ අවදානමත් එකවර දැකගත හැකි වන්නේ සංඛ්‍යා දත්ත පරීක්ෂා කරන විටය. අපනයන සංවර්ධන මණ්ඩලය අනුව, 2025 වසරේ ඇඟලුම් හා රෙදිපිළි අංශය ශ්‍රී ලංකාවේ ප්‍රධානම අපනයන ආදායම් මූලාශ්‍රය ලෙස ඇමෙර්කන් ඩොලර් බිලියන 4.91ක් පමණ උපයාගත් අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 5.34ක වර්ධනයක් ද පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසද විසින් ඉදිරිපත් කළ දත්ත අනුව 2025 වසරේ HS 61, 62 සහ 63 යටතේ ඇඟලුම් අපනයනවලින් සියයට 38.8ක් පමණ එක්සත් ජනපදයට අපනයනය කර ඇත. එක් පැත්තකින් මෙය ඉහළ ඒක පුද්ගල ආදායම් සහිත රටවල වෙළෙඳපොළවලට ශ්‍රී ලංකාව ගැඹුරින් සම්බන්ධ වී ඇති බව පෙන්වයි. අනෙක් පැත්තෙන්, අපගේ කර්මාන්තය විදේශීය ගැනුම්කරුවන්, මහා පරිමාණයේ ජාලගත විකුණුම් ආයතන (retail cycles), තීරුබදු වෙනස්කම් සහ වරණීය වෙළෙඳ තත්ව (trade preferances) මත දැඩි ලෙස රඳා පවතින බවද පෙන්වයි.
සාපේක්ෂ වාසියෙන් තරගකාරී හැකියාවට
ජාත්‍යන්තර වෙළෙඳාම් සිද්ධාන්ත මගින් මේ තත්වය තේරුම් ගනිමු. ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ සාපේක්ෂ වාසිය (comparative advantage) එක ගොඩනැගුණේ ශ්‍රමය ලබාගැනීමේ හැකියාව, භූගෝලීය වාසිය, වෙළෙඳ විවෘතකරණය සහ වෙළෙඳපොළ ප්‍රවේශය මතය. Ricardo සහ Heckscher-Ohlin යන ආර්ථික විද්‍යා සිද්ධාන්තවලට අනුව රටක් තමන්ට ඇති සම්පත් හා කාර්යක්ෂමතාව අනුව වෙනත් රටකට සාපේක්ෂව අඩු පිරිවැයක් සහිතව භාණ්ඩ නිපදවා අපනයනය කරයි නම් එම නිෂ්පාදනයෙහි සාපේක්ෂ වාසිය අදාළ රටට හිමිවෙයි. මේ ආකාරයට ඇඟලුම් නිෂ්පාදනය හා අපනයනය ශ්‍රී ලංකාවට සාපේක්ෂ වාසියක් අත්කර ඇති අපනයන කාණ්ඩයක් ලෙස සරලව දැක්විය හැක. එහෙත් මෙම ක්ෂේත්‍රයේ පරිණාමය සමග නූතන ඇඟලුම් කර්මාන්තය තවදුරටත් අඩු වැටුප් මත පමණක් තරග කරන කර්මාන්තයක් නොව, කාර්යක්ෂම ඇඟලුම් නිෂ්පාදකයන්, ජාත්‍යන්තර ගැනුම්කරුවන් ගේ වර්ධනය වන ඉල්ලුම, අනුකූලතා ක්‍රමෙව්ද (compliances), නැව් භාණ්ඩ ප්‍රවාහනයේ දියුණුව (logistics), ආයතනික සහයෝගය සහ වසර ගණනාවකින් සමුච්චිත වූ නිෂ්පාදන දැනුම එකට එක්ව නිර්මාණය කරන තරගකාරී හැකියාව ආදී ධනාත්මක සාධකයන් ගණනාවක් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය හා බැඳී පවතී.
ගෝලීය වටිනාකම් දාමයේ සීමාව
ශ්‍රී ලංකාව ඇඟලුම් නිෂ්පාදනයෙහි කෙතරම් තරගකාරී වූවත් තරගකාරීත්වය සහ වෙළෙඳ නාම හිමිකාරීත්වය යනු එකම දෙයක් නොවේ. ගෝලීය වටිනාකම් දාම (Global Value Chain) සිද්ධාන්තය අනුව, අපනයන කර්මාන්තයක් නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම, නිෂ්පාදනය වැඩිදියුණු කිරීම, නිෂ්පාදන පාරිභෝගියා අතට පත් වීම සඳහා සහාය වන අනෙකුත් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සහ අඩු වටිනාකම් සහිත නිෂ්පාදන කාණ්ඩවලින් ඉවත් වී වැඩි වටිනාකම් දාම සහිත නිෂ්පාදන කාණ්ඩ වෙත පිවිසීම වැනි සාධක හරහා අපට ඉදිරියට යා හැක. ශ්‍රී ලංකාව ඇඟලුම් නිෂ්පාදන ක්‍රියාවලිය සහ අවසන් නිෂ්පාදන වැඩිදියුණු කිරීම් අතින් සැලකිය යුතු දියුණුවක් ලබා ඇත. බොහෝ කර්මාන්තශාලා අද ඇඟලුම් නිර්මාන සහාය, නිෂ්පාදන සංවර්ධන, තිරසර වාර්තාකරණය, ආචාරධර්මීය අනුකූලතා සපුරාලීම, ප්‍රශස්ත ලෙස සිදු කළත් සන්නාම ගොඩනැගීම, අවසන් නිෂ්පාදනය පාරිභෝගකයා අතට පත්වන තුරුම ගැනුම්කරුගේ අවශ්‍යතා නිසි ලෙස කළමනාකරණය කිරීම (Merchandising) සහ පාරිභෝගික සබඳතා සහ දත්ත හිමිකාරීත්වය වැනි ක්‍රියාකාරීත්වය වෙත යොමු වීම සීමිත තත්වයක පවතී.
‘Smiling Curve’ පෙන්වන අගය ගලා යාම
ජාත්‍යන්තර වෙළෙඳාම හැදෑරීමේදී හමුවන ‘Smiling curve’ නම් වූ සංකල්පයට අනුව, මේ තත්වය තේරුම් ගත හොත් මෙහි අදහස වන්නේ ගෝලීය නිෂ්පාදන දාමය තුළ එහි ඉහළම වටිනාකම ලැබෙන්නේ කුමන අවස්ථාවකද කියා පෙන්නුම් කිරීමය. එනම් අප විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඇඟලුමක නිර්මාණ සැලසුම ඇමෙරිකාවට අයත් නම් සහ අවසන් වෙළෙඳනාමයද අයත් වන්නේ ඔවුන්ට නම් වක්‍රය ආරම්භයේ සහ අවසානයේ සිටින ඇමරිකාව ශ්‍රී ලංකාවට සාපේක්ෂව එම ඇඟලුමෙන් වැඩි වෙළෙඳ වාසියක් හිමිකර ගැනීම ලෙස මෙම සංකල්පය සරලව තේරුම් ගතහැකිය.
මෙම සංකල්පයට අනුව අධික වටිනාකම රැඳී ඇත්තේ ඇඟලුම් නිර්මාණය, සන්නාමය, අලෙවිකරණය,පාරිභෝගික වෙළෙඳාම අලෙවියෙන් පසු පාරිභෝගිකයා සමග කටයුතු කිරීම සහ වැනි ක්‍රියාකාරීත්වය තුළයි. ශ්‍රී ලංකාව නිෂ්පාදන වටිනාකම් දාමය (manufacturing value chain) තුළ ඉහළට පැමිණ තිබුණත්, සන්නාම සහ වෙළෙඳපොළ හිමිකාරීත්වය දෙසට තවමත් පූර්ණ ලෙස ගමන් කර නැත. මේ නිසා අප නිෂ්පාදනය කරන ඇඟලුම් ලෝක වෙළෙඳපොළේ ඉහළ මිලකට විකිණුණත්, එම වෙළෙඳ නාම අගය බොහෝ විට ශ්‍රී ලංකාවේ නොව විදේශීය සන්නාම හිමිකරුවන්ගේ ගිණුම්වලට බැරවන්නේය.
‘Ceylon Tea’ අසමානකම් සහිත සමාන කිරීම
Ceylon Tea සමග කරන සසැඳීම මෙහිදී ප්‍රයෝජනවත් නමුත් සම්පූර්ණයෙන් සමාන නොවේ. Ceylon Tea යනු නිෂ්පාදනයෙහි මූලාරම්භය, භූමියට හා දේශගුණයට අනන්‍ය රසය, සුවඳ, උසස් තත්වය සහ සම්ප්‍රදාය සමග බැඳුණු රටේ සන්නාමයකි. අපනයන සංවර්ධන මණ්ඩලයට අනුව Ceylon Tea, සිංහ සලකුණ (Lion Logo) සහ වෙළෙඳ නාමකරණය (trademarks) මගින් නියෝජනය වන අතර 2025දී තේ අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5ක් පමණ විය. එසේම ශ්‍රී ලංකා තේ අපනයනෙයන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් වටිනාකම එකතු කළ නිෂ්පාදනයක් ලෙස අපනයනය වන බවද සඳහන් වේ. එහෙත් ඇඟලුම්වල නිෂ්පාදනයෙහි මූලාරම්භය (origin) තේ වැනි ස්වාභාවික භූමි සම්බන්ධතාවක් මත සිදු නොවේ. කමිසයක් හෝ ක්‍රීඩා ඇඟලුමක් නිව්‌යෝක්හි නිර්මාණය කර, චීනයෙන් රෙදිපිලි ආනයනය කර, ශ්‍රී ලංකාවේ මසා නිම කිරීමෙන්, යුරෝපයේ විදේශීය සන්නාමයක් යටතේ විකිණිය හැක. එහෙත් මෙහිදී පාරිභෝගිකයා දකින්නේ සන්නාමයයි. නිෂ්පාදන රට බොහෝ විට පසුබිමේම පවතී.
පාරිභෝගිකයාට නොපෙනෙන ශ්‍රී ලංකාවේ වටිනාකම
එබැවින් ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තයේ ප්‍රධාන ගැටලුවක් වන්නේ අවසාන පාරිභෝගිකයාට ශ්‍රී ලංකාව මගින් අදාළ ඇඟලුම් නිෂ්පාදනයට එකතු කරන වටිනාකමයි. ජාත්‍යන්තර සන්නාම, සැපයුම් මූලාශ්‍ර පිළිබඳව සම්බන්ධීකරණය සිදු කරන පාර්ශව (sourcing teams) සහ විගණන සමාගම් ශ්‍රී ලංකාවේ ගුණාත්මකභාවය හා ආචාරධර්මීය නිෂපාදන ක්‍රියාවලිය ගැන දැනුවත් ව සිටී. එහෙත් පාරිභෝගිකයා සාප්පුවකට ගොස් ‘Sri Lankan apparel’ ලෙස විශේෂයෙන් සොයන්නේ කලාතුරකිනි. Ceylon Tea විසින් ඒම තේ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් වූ බවට ලබා දෙන විශ්වාසයෙහි සංඥාව ශ්‍රී ලාංකීය සන්නාමය කෙරෙහි පවතින ජාත්‍යන්තර සන්නාම බැඳීම හොඳින් තේරුම් ගැනීමට ඉඩ සලසයි. ඒහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය තුළ රටේ නිෂ්පාදන හැකියාව, ජාත්‍යන්තර ගැනුම්කරුගේ මිලදී ගැනීමේ කැමැත්ත රඳවා ගැනීමට අප සමත් වූවත් මේ තත්වය අවසන් පාරිභෝගිකයාගේ සන්නාම ලැබැඳියාව දක්වා තවමත් ගමන් කර නැත.
ව්‍යුහාත්මක බාධක සහ ප්‍රතිපත්තිමය අවශ්‍යතා
මෙයට ව්‍යුහාත්මක හේතු කිහිපයක් තිබේ. පළමුව, ඇඟලුම් කර්මාන්තය මෙරට තුළ වර්ධනය වන්නේ කොන්ත්‍රාත් නිෂ්පාදන (B2B contract manufacturing) ආකෘතියක් යටතේය. එහිදී කාර්යක්ෂමතාව, රහස්‍යබව සහ ජාත්‍යන්තර සන්නාම පිළිබඳව පවතින සබඳතා සම්බන්ධතා ප්‍රධාන විය. දෙවැනුව, ජාත්‍යන්තර සන්නාම සතුව සතුව ජාත්‍යන්තර ඇඟලුම් විකුණුම්කරුවන්ගේ පිළිගැනීම, , ඊ කොමර්ස් හරහා සිදු වන වැඩි ගනුදෙනු ධාරිතාව, පාරිභෝගික දත්ත, කාලානුරූපව සිදු කළ යුතු පුරෝකථන පවතී. මේවා ගොඩනැගීමට විශාල ප්‍රාග්ධනයක්, කාලය සහ අවදානම් භාරගැනීමක් අත්‍යාවශ්‍ය වේ. තෙවැනුව, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර වෙළෙඳපොළ මහා පරිමාණයේ වෙළෙඳ සන්නාමයක වෙළෙඳපොළ තත්වයක් පරීක්ෂා කිරීමට තරම් විශාල නැත. සිව්වැනුව, ඇඟලුම් විලාසිතා සන්නාමයක් ගොඩනැගීම, තහවුරු වූ ගැනුම්කරුවකුගේ අපනයන ඇණවුමකට ඇඟලුම් නිෂ්පාදනය කිරීමකට වඩා සම්පූර්ණයෙන් වෙනස් ව්‍යාපාරික හැකියාවකි.
මෙයට ප්‍රතිපත්තිමය අර්ථයක්ද ඇත. වටිනාකම එකතු කිරීම යන්න ශ්‍රී ලංකාවේ දී බොහෝ විට දේශීය වශයෙන් සිදු කරන අගය එකතු කිරීම්, නිෂ්පාදන ක්‍රියාවලිය හෝ නිෂ්පාදන ක්‍රියාවලියෙහි දක්වන අසම සම විශිෂ්ටත්වය ලෙස වටහාගෙන ඇත. එහි වරදක් නොමැති මුත්, මේ තත්වය දිගටම පවත්වාගෙන යෑම පමණක් ප්‍රමාණවත් නොවේ. ඉදිරි ප්‍රශ්න නිරකරණය කර ගැනීමට අපට හැකි වන්නේ නිෂ්පාදනයෙහි මුළු වටිනාකම අත්පත් කර ගන්නේ කෙසේද යන්න මතය. බුද්ධිමය දේපළ අයිතිය කා සතුවද? සන්නාමය කව්රුන් සතුද? පාරිභෝගික සබඳතාව කවුරුන් සතුවේද ? තිරසාර බව, තත්වය සහ විශ්වාසය මත ඇති වන මිල වාසිය ( Price premium) උපයන්නේ කවුද? යන ප්‍රශ්න සඳහා අප විසඳුම් සොයා ගත යුතුව ඇත.
අවදානම අඩු කළ හැකි ප්‍රායෝගික මග
ප්‍රායෝගික විසඳුම නම් සියලුම ඇඟලුම් අපනයනකරුවන්ට එකවර ගෝලීය විලාසිතා සන්නාම ගොඩනැගීමට බල කර සිටීම නොවේ. එය අධික අවදානම් සහිතය. ඒ වෙනුවට අදියර තුනක් යටතේ අවදානම අවම කර ගනිමින් සිදු කළ හැකි ප්‍රතිපත්ති රාමුවක් ගොඩනගා ගැනීම සිදු කළ හැක. පළමුව, ‘Sri Lanka Apparel’ ලෙස ජාතික අනන්‍යතාවක් සහිත ජාත්‍යන්තර ඇඟලුම් වේදිකාවක් ගොඩනැගිය යුතුය. එය සන්නාමයකට සීමා නොවී ආචාරධර්මීය නිෂ්පාදනය, තිරසාරබව, ගුණාත්මකබව, නවොත්පාදනය සහ සේවා ගරුත්වය පිළිබඳ විශ්වාසනීය පොරොන්දුවක් විය යුතුය. දෙවැනුව,යට ඇඟලුම් (intimate apparel), ක්‍රීඩා සහ පිහිණුම් ඇඟලුම්, තිරසාරව පරිසර හිතකාමීව නිපදවිය හැකි එදිනෙදා භාවිත වන ඇඟලුම්, ළදරු සහ ළමා ඇඟලුම්, ශරීර සුවතාව පවත්වාගෙන යෑමට භාවිත කරන ඇඟලුම් වැනි දෑ නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකීය සමාගම්වලට ඔවුන්ට අනන්‍යවූ සන්නාමයක් ගොඩනැගීමට සහ සහ වෙළෙඳපොළට ප්‍රවේශ වීමේ සහය ලබාදිය යුතුය. තෙවැනුව, සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් අපනයනකරුවන් සඳහා නිර්මාණ සහාය, ඩිජිටල් මූල්‍ය හා ව්‍යාපාරික සේවා සහාය, ඇසුරුම්කරණය, අනුකූලතා පවත්වාගෙන යෑම අපනයන මූල්‍ය සහාය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ අවබෝධය ලබා ගැනීමට සහය ලබාදිය යුතුය.
ඉදිරි දශකයේ සන්නාම අභියෝගය
අවසානයේ, ශ්‍රී ලංකාවේ ඇඟලුම් සන්නාමය යථාර්ථයක් කර ගැනීමට එය රැකියා, විදේශ විනිමය, කාන්තා ආර්ථික සහභාගීත්වය සහ වගකීම් සහගත නිෂ්පාදන ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීම අත්‍යාවශ්‍යවේ. එහෙත් ඉදිරි දශකයේ අභියෝගය වෙනස්ය. ලෝකයට ඇඟලුම් නිෂ්පාදනය කළ හැකි බව ශ්‍රී ලංකාව දැනටමත් ඔප්පු කර ඇත. දැන් ඔප්පු කළ යුත්තේ, එම ඇඟලුම් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත’ නිසා පමණක් නොව, ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවක් සහිත බවට වන නිෂ්පාදන පොරොන්දුවේ කොටසක් වන තරමට වෙළෙඳ නාම බලයක් ගොඩනැගිය හැකිද යන්නය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd