ආයෝජනයේ වටිනාකම ඩොලර් මිලියන 20.4ක්
බියගම අපනයන සැකසුම් කලාපයේ (BEPZ) පිහිටි ‘Asahi Dyes and Chemicals SL Ltd.’  සමාගමට අති නවීන තාක්ෂණයෙන් යුත් ඩොලර් මිලියන 20.4ක වටිනාකමකින් යුත් නිෂ්පාදන මධ්‍යස්ථානයක් පසුගියදා නිල වශයෙන් විවෘත කළ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) පවසයි.
ජපානයේ ‘Asahi Dyes and Chemicals Co., Ltd.’  සහ ශ්‍රී ලංකාවේ ‘Asons Ltd.’  අතර ඇති කරගත් උපායමාර්ගික හවුල්කාරිත්වයක් මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරී තිබේ. මෙමගින් සෘජු රැකියා අවස්ථා 281ක් නිර්මාණය වන අතරම, උසස් නිෂ්පාදන තාක්ෂණ, ජාත්‍යන්තරව පිළිගත් නිෂ්පාදන ප්‍රමිති සහ ලෝක මට්ටමේ කාර්මික විශේෂඥ දැනුම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමක් ද සිදු කෙරෙනු ඇතැයි එම මණ්ඩලය පවසයි.

මෙම විවෘත කිරීමේ උත්සවයේදී අදහස් දක්වමින් ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා මෙසේ පැවසීය. ‘‘මෙහි ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය ඇඟලු‍ම් කර්මාන්තයේ සිරස් ඒකාබද්ධතාව (vertical integration) වැඩිදියුණු කිරීමට සහ ඒ සඳහා දායක වීමට ඉවහල් වනු ඇති. අපගේ අපනයන පදනම විවිධාංගීකරණය කිරීමේදී ඉලෙක්ට්‍රොනික, නිෂ්පාදන, විදුලි සංදේශ සහ වෙනත් ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කිරිම අත්‍යවශ්‍ය කාරණයකි. එහෙත් ඇඟලු‍ම් කර්මාන්තය යනු දැනටමත් අප සතුව පවතින ඉතා වටිනා සම්පතක්. වසර ගණනාවක් පුරා අපගේ ආර්ථිකයේ වර්ධනයට එය අතිවිශාල දායකත්වයක් ලබා දී ඇත. මීට වසර 30කට හෝ 40කට පමණ පෙර ආරම්භ වූ මෙය, අද වන විට ඉතා දියුණු සහ ඉහළ තාක්ෂණික මට්ටමක පවතින කර්මාන්තයක් බවට පරිවර්තනය වී තිබෙනවා.”‍
1932 දී ආරම්භ කරන ලද Asahi Dyes and Chemicals Co., Ltd.  සමාගම, සල්ෆර් රසායන විද්‍යාව, ඖෂධ නිෂ්පාදනය සඳහා යොදාගන්නා අතරමැදි රසායනික ද්‍රව්‍ය (pharmaceutical intermediates), ඉලෙක්ට්‍රොනික කර්මාන්තයට අදාළ රසායනික ද්‍රව්‍ය සහ උසස් කාර්යසාධනයක් සහිත රෙදිපිළි සායම් වර්ග නිෂ්පාදනය යන ක්ෂේත්‍රවල විශේෂඥ දැනුමෙන් යුතුව, විශේෂිත රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ප්‍රමුඛ පෙළේ සමාගමක් ලෙස ජාත්‍යන්තර කීර්තියක් අත්කරගෙන ඇත.