• සංචාරක කර්මාන්තයේ රැකියා නියුක්තිය ලක්ෂ 8ක් දක්වා ඉහළ නැංවීමේ සැලසුම් 

2030 වසර වන විට මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන පහ දක්වා ඉහළ නංවමින් සංචාරක කර්මාන්තය හරහා උපයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 10ක් දක්වා වර්ධනය කරගැනීම ‘2030 ජාතික සංචාරක දැක්ම‘ යටතේ සිය අපේක්ෂාව බව අගමැතිනී ආචාර්ය හරිසි අමරසූරිය පවසයි. 

පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී පැවැත්වුණු ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ 45 වන උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය. 

විශේෂනේම අදාළ කාලසීමාව වනවිට සංචාරක ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිකයන් සංඛ්‍යාව 800,000 දක්වා වර්ධනය කිරීමත් මෙම සැලසුමට ඇතුළත් බවත් ඇය සඳහන් කළාය. 

“2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සංචාරකයන් මිලියන 1.3කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් හරහා ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රැකියා නියුක්තිය ද 429,000 ඉක්මවා තිබෙනවා.’’ 

මෙම අනාගත ඉලක්ක සපුරා ගැනීමට තාක්ෂණික දැනුම මෙන්ම පාරිසරික වගකීම, වෘත්තීය ගෞරවය, වෙනස්වීම්වලට හැඩගැසීමේ හැකියාව සහ ගුණාත්මක සේවාවක් සැපයීමට කැපවූ වෘත්තිකයන් ක්ෂේත්‍රයට අවශ්‍ය වන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.