කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය 
සුනිල් හඳුන්නෙත්ති

අධ්‍යාපනයේ විවිධ මට්ටම්වලදී ශිෂ්‍යයන් කර්මාන්ත ක්ෂේත්‍රයට යොමු කරවීමට අපේක්ෂා
වර්තමානයේදී මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 3.2 ක් පමණ වන ව්‍යවසායකත්ව ප්‍රතිශතය වසර 2030 වන විට සියයට 10ක් දක්වා වර්ධනය කරගැනීම සිය අරමුණ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය  (MSMEs) අංශය බලගැන්වීම සදහා කොළඹදී පැවැත්වුණු ජාතික සමුළුව අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමග එක්ව මෙම සමුළුව සංවිධානය කර ඇත. 
මේ සඳහා කර්මාන්ත ක්ෂේත්‍ර 27 ක් සමගින් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත්, අධ්‍යාපනයේ විවිධ මට්ටම්වලදී ශිෂ්‍යයන් කර්මාන්ත ක්ෂේත්‍රය වෙතට යොමු කරවීමට කටයුතු යොදන බවත් අමාත්‍යවරයා පවසයි.
 “මේ වන විට සියයට 3.2 ක් වන ලංකාවේ ව්‍යවසායකත්ව ප්‍රතිශතය  2030 වසර වන විට තුන් ගුණයකින් වැඩි කර සියයට 10 ක් දක්වා ගෙන ඒම අප අමාත්‍යාංශයේ අරමුණයි. ඒ සඳහා කර්මාන්ත ක්ෂේත්‍ර 27 ක් සමග අමාත්‍යාංශය කටයුතු කරනවා. වර්තමානයේ  විශ්ව විද්‍යාල වලින් උපාධිධාරීන් ලෙස පිටවන ශිෂ්‍යයන්ගෙන් කර්මාන්ත ක්ෂේත්‍රයට ලැබෙන දායකත්වය ඉතාම අවමයි. මේ නිසා ඉදිරියේදී අධ්‍යාපනයේ විවිධ මට්ටම්වලදී ශිෂ්‍යයින් කර්මාන්ත ක්ෂේත්‍රය වෙතට යොමු කරවීමටත් ඔවුන්ට මේ පිළිබඳව ලබාදෙන ප්‍රායෝගික අධ්‍යාපනය වැඩි කිරීමටත් කටයුතු කරනවා”  අමාත්‍යවරයා පවසා තිබේ.
 “ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs)  බලගැන්වීම, අභියෝග, අවස්ථා සහ ඉදිරි මාවත” යන තේමාව ඔස්සේ පැවැත්වූ  මෙම ජාතික සමුළුවේදී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකත්ව (MSME)  අංශය ශක්තිමත් කිරීම සඳහා ගත හැකි උපායමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරී තිබේ.