ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න |
විමුක්ති එස් රුද්‍රිගු
වර්තාමානයේ ශ්‍රී ලංකාවේ සංසරණය වන රුපියල් ට්‍රිලියන 1.3 ක මුදල් ප්‍රමාණයෙන් තුනෙන් එකක් එසේත් නැතිනම් සියයට 35 ක් ඩිජිටල් ගෙවීම්වලට අනුගත වීමෙන් ඉතිරි කරගත හැකි වුවහොත් මෙරට මූල්‍ය පද්ධතියට එකතුවන එම මුදල නැවතත් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයට ණය ලෙස ලබාදිය හැකි බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ඊයේ (25) ප්‍රකාශ කළේය.
රුපියල් ට්‍රිලියන 1.3 න් සියයට 35 ක් යනු රුපියල් බිලියන 450 ක් බවද ඔහු පෙන්වා දුන්නේය. කලාපයේ අනෙක් රටවල් සමග සංසන්දනය කිරීමේදී මෙරට සංසරණය වන මුදල් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ඉතාමත් ඉහළ බවත් ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා මුදල් සංසරණය හැකිතාක් අඩුකොට එම මුදල මූල්‍ය පද්ධතියට හැරවීම අත්‍යාවශ්‍ය සාධකයක් බවද ඔහු පැවැසුවේය.
වත්මන් රජයේ ඉලක්කය වී ඇත්තේ 2030 වසර වනවිට ඩිජිටල් ගනුදෙනු ඩොලර් බිලියන 15 දක්වා වර්ධනය කර ගැනීම බවත්, වර්තමානයේ ඩිජිටල් ගනුදෙනුවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
රජයේ එම ඉලක්කය සපුරා ගැනීම සඳහා මූල්‍ය සේවා සැපයීම සඳහා තාක්ෂණය භාවිත කිරීම සහ ඩිජිටල්කරණය ප්‍රධාන සාධක බව ඔහු පැවැසුවේය.
ඉලක්කය කර සාර්ථකත්වය රඳාපවතින්නේ රජය, මහ බැංකුව, මූල්‍ය ආයතන හා මූල්‍ය සේවා සැපයීම සඳහා තාක්ෂණය භාවිත කරන සමාගම්, නවෝත්පාදන විසඳුම් සපයන්නන්, වෘත්තිකයන් මෙන්ම මහ ජනතාවගේද සහයෝගීත්වය ඒ සඳහා අත්‍යාවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව හොඳ සම්ප්‍රදායික බැංකු පද්ධතියක් තිබෙන රටක් බවත්, මෙරට බැංකු පද්ධතිය විශාල පිරිසක් භාවිත කරන බවත්, සම්ප්‍රදායික බැංකු පද්ධතියක් සමග අප ඉදිරියට යනවිට කෙසේ හෝ මූල්‍ය සේවා සැපයීම සඳහා තාක්ෂණය භාවිත කිරීම මෙන්ම ඩිජිටල්කරණය යම්තාක් දුරකට මග හැරී ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. ඒ හේතුවෙන් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද සඳහා ජනතාව යොමු කිරීම මන්දගාමී වී තිබෙන බවද වීරරත්න මහතා ප්‍රකාශ කළේය.
දශකයට පෙර අප පසුපස සිටි රටවල් මේ වනවිට ශ්‍රී ලංකාව පසුකරගෙන බොහෝ දුරක් ගොස් ඇති බවත්, ඩිජිටල් ආර්ථිකය වර්ධනය කර ගැනීමේදී එම රටවල් සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇති බවත් ඔහු පැවැසුවේය.
ඩිජිටල් ගෙවීම් සඳහා අනුගතවීමට නම් මහ ජනතාවට ඒ පිළිබඳව නිසි දැනුමක් ලබාදිය යුතු බවද ඔහු පැවැසුවේය. ජනතාවට, ඩිජිටල් ගෙවීම් සඳහා අවතීර්ණවීමට ඒ සඳහා හොඳ විසඳුම් ලබාදිය යුතු බවද වීරරත්න මහතා පැවැසුවේය. ඩිජිටල් ගෙවීම් යනු මෘදුකාංග සහ යෙදුම්වලින් කැඩී එන කොටස් එකතු වී සෑදෙන්නක් බවට නොසිතිය යුතු බවත්, ඩිජිටල් ගෙවීම් යනු මූල්‍ය පද්ධතියේ කොටසක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙරට ඩිජිටල් ආර්ථික ඉලක්කය සපුරා ගැනීමට පරිසරය සැකසීමේදී කිව්.ආර් කේත, ප්‍රවාහන පහසුකම් සඳහා ගෙවීම් සිදුකරන කාඩ්පත්, පුද්ගලයන් අතර මුදල් හුවමාරු කර ගැනීමට භාවිත කරන විසඳුම් ඇතුළු සෑම පැතිකඩක් ගැනම සොයා බැලිය යුතු බව වීරරත්න මහතා පැවැසුවේය. ඩිජිටල් ගෙවීම් සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීමෙන් ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමටත්, මූල්‍ය පද්ධතිය තුළ වංචා, දූෂණ නැති කිරීමටත් අවශ්‍ය පසුබිම සකස් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඩිජිටල් ගෙවීම්වලදී භාවිත කරනු ලබන ඩිජිටල් ලේජරයන්ගේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමාගත යුතු බවත් එමගින් ජනතාවට ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සඳහා ප්‍රවේශය පුළුල් වනු ඇති බවත් ඔහු පැවැසුවේය. ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමා ගැනීමෙන් ක්ෂුද්‍ර මූල්‍ය ගෙවීම් ඩිජිටල් ගෙවීම් හරහා කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
මෙරට ඩිජිටල් ගෙවීම් පද්ධතිය නැවත දියත් කිරීමේදී එම කරුණ සලකා බැලිය යුතු බවත් නැවත දියත් කිරීම ලෙස හඳුන්වනු ලැබුවේ ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට මේ පිළිබඳව කතා කරන නිසා බවත් ඔහු පැවැසුවේය.
ඉන්දියාවේ සියයට 90ක් ගෙවීම් සිදුවන්නේ ඩිජිටල් ගෙවීම් හරහා බවත්, මුදලින් ගෙවීම් සිදුකරන්නේ සියයට 10 ක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව වැනි රටවල් ගෙවීම් සියයට 60 කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කරන්නේ ඩිජිටල් ගෙවීම් හරහා බවද ඔහු පැවැසුවේය.
ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට උත්සාහ දැරුවත් ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම මන්දගාමී වී ඇත්තේ ඇයිදැයි සොයා බැලිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. 2030 වසරේදී ඉලක්කය සපුරා ගැනීම සඳහා හොඳ උපාය මාර්ගයක් සහ සැලසුමක් සකස් කළ යුතු බවත්, ඒ සඳහා සියලු පාර්ශ්වකරුවන් එකම තැනකට පැමිණෙන පොදු වේදිකාවක් අවශ්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.
එලෙස සියලුම පාර්ශ්වකරුවන් පොදු වේදිකාවකට පැමිණ 2030 ඉලක්කය සපුරා ගැනීම සඳහා සාකච්ඡා කර මාර්ග සිතියමක් සකස් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. ඇමෙරිකානු ඩොලර් බිලියන 15 ක් යනු මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක් බවද ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේය.
එළැඹෙන සැප්තැම්බර් මාසයේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ෆින්ටෙක් සමුළුව පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
2030 වනවිට ඩිජිටල් ගනුදෙනු ඩො.බි 15ක් කිරීමේ ඉලක්කයක්