- වසරේ සමස්ත සිමෙන්ති අලෙවිය මෙට්‍රික් ටොන් 5.29 ක් වෙයි
- ඉදිකිරීම් අංශයේ සිදු වූ සියයට 9.2 ක වර්ධනය සහ පතල් සහ කැණීම් අංශයේ සිදු වූ සියට 16.9 ක වර්ධනය ඊට හේතු වෙලා
- දේශීයව නිපදවූ සිමෙන්ති අලෙවියේ සියයට 25.7 ක ඉහළ යෑමක්
- 2021 වසරේ සිට 2025 දක්වා සිමෙන්ති ආනයනයේ කැපී පෙනෙන අඩුවීමක්
භානුක අමරසිංහ
පසුගිය 2025 වසරේදී මෙරට සිමෙන්ති අලෙවිය මෙට්‍රික් ටොන් 5.29ක් ලෙස සටහන්ව තිබේ. එය 2024 වසරේදී සිමෙන්ති අලෙවි වූ මෙට්‍රික් ටොන් 4.56ට සාපේක්ෂව සියයට 16ක වර්ධනයකි.
ටෝකියෝ සිමෙන්ති සමාගම 2026 මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා නිකුත් කළ සිය අලුත්ම වාර්ෂික වාර්තාව තුළ මෙම කරුණු සඳහන්ව තිබේ.
“එහිදී මූලිකවම ඉදිකිරීම් අංශයේ සිදු වූ සියයට 9.2 ක වර්ධනය සහ පතල් සහ කැණීම් අංශයේ සිදු වූ සියට 16.9 ක වර්ධනය මේ සඳහා හේතුව වී තිබෙනවා’’ වාර්තාව පවසයි.
විශේෂයෙන්ම රජය මගින් අරමුදල් සපයන සංවර්ධන ව්‍යාපෘතිවල 2025 සිදු වූ වර්ධනය, නිවාස, හෝටල් සහ වාණිජ ගොඩනැගිලි ඉදිකිරීම් ලෙස රට වෙත හිමි වූ ඍජු විදේශ ආයෝජනවල (FDI) වටිනාකම ඩොලර් මිලියන 173ක් දක්වා පෙර වසරට සාපේක්ෂව සියයට 55 කින් ඉහළ යාම, ඉදිකිරීම් අංශය වෙත පෞද්ගලික බැංකු හරහා ලබාදුන් ණය වාර්තාගත ලෙස රුපියල් බිලියන 1,812 ක් දක්වා සියයට 18.8 කින් ඉහළ යාම මේ සඳහා හේතු වී තිබේ.
ඒ අනුව දේශීයව නිපදවූ සිමෙන්ති අලෙවිය 2024 වසරට සාපේක්ෂව සියයට 25.7 ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, 2023 වසරට සාපේක්ෂව 2024 දී එය සියයට 28.8 ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
මේ අතර ටෝකියෝ සිමෙන්ති සමාගමට අනුව 2025 වසරේ සිමෙන්ති අලෙවි වූ මෙට්‍රික් ටොන් 5.29, එම සිමෙන්ති පරිභෝජනයේ ඉහළම අගය ලෙස 2021 වසරේදී වාර්තා වූ මෙට්‍රික් ටොන් 7.2 ට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 2කට ආසන්න අඩුවීමකි.
“2026 වසර තුළ මෙම සිමෙන්ති අලෙවිය මෙට්‍රික් ටොන් 6.2ක් ලෙස ඇස්තමේන්තු කරනවා’’ යනුවෙන්ද වාර්තාව පවසයි.
එහිදී 2026 වසරේ මෙරට තුළ නිවාස, හෝටල් සහ වාණිජ ඉදිකිරීම් සඳහා හිමිවන ඍජු විදේශ ආයෝජනවල වටිනාකම ඩොලර් මිලියන 210ක් වනු ඇති බවත්, වාණිජ බැංකු හරහා ඉදිකිරීම් ක්ෂේත්‍රයට ලබා දෙන ණය රුපියල් බිලියන 2,174 ක් දක්වා ඉහළ යනු ඇති බවත් ටෝකියෝ සිමෙන්ති සමාගමේ අදහස වී තිබේ.
මේ අතර දේශීය සිමෙන්ති නිෂ්පාදකයන් සතු සමස්ත ස්ථාපිත ධාරිතාව මෙට්‍රික් ටොන් 10.7ක් දක්වා ඉහළ නැංවී තිබේ. කෙසේ වෙතත් වසර තුළ සිමෙන්ති ඉල්ලුම මෙට්‍රික් ටොන් 5.29ක් දක්වා පමණක් වර්ධනය වීම දේශීය නිෂ්පාදකයන්ගේ සැපයුම් හැකියාවෙන් සියයට 50කට අඩු බවත් සමාගම වැඩි දුරටත් පෙන්වා දෙයි.
“මේ අතර 2021 වසරේ සිට 2025 දක්වා සිමෙන්ති ආනයනයේ කැපී පෙනෙන අඩුවීමක් සිදුව තිබෙනවා. ඒ අනුව 2021 දී මෙට්‍රික් ටොන් මිලියන 2.73ක් වූ සිමෙන්ති ආනයනය. පිළිවෙළින් 1.41ක්, 0.98ක්, 0.94 ක් සහ 0.74 ක් දක්වා අඩු වෙලා.’’
ඒ අනුව මෙරට තුළ සිමෙන්ති නිෂ්පාදනයේ පංගුව 2025 වසර තුළ සියයට 86ක් දක්වා වර්ධනය වී තිබෙන අතර, 2024 දී එය 79.4ක් විය. 2026 වසර වන විට එය සියයට 88ක් දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තුව වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd